ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඬුවම නියම කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදීම අධිකරණ නියෝගයක් බවත්, ඒ සඳහා වත්මන් ආණ්ඩුව මැදිහත් නොවුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ (10දා) පැවැති විවාදයකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
"අපි දැක්කා මේ සභාවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කළු පාට සාටකයක් දාගෙන ඇවිල්ලා ඉන්නවා. එහිදී මේ අය කියනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ආපු එක වැරදියි කියලා.
ඒ රිමාන්ඩ් සිරකරුවාට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා අධිකරණය කියනවා. ඒත් නීතිපති කියනවා ඒහෙම බෑ කියලා. නීතිපතින්ගේ තර්කත් අනෙක් අයගේ තර්කත් අහලා විනිශ්චයකාරයා කියනවා නෑ පාර්ලිමේන්තු එන්න පුළුවන් කියලා ඔහුට. මේක පසුගිය ආණ්ඩුව හදපු ස්වාධීන අධිකරණය. අර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දුරකථන ඇමතුම ලබාගත් උසාවිය. ඉතින් පසුගිය ආණ්ඩුව හදපු ස්වාධීන අධිකරණයෙන් තමයි මේ තීන්දු ලබා දෙන්නේ. ඒ තීරණවලට සභාවේ විරෝධය පළ කරලා වැඩක් නෑ. ඒකට අධිකරණය ඉදිරිපිටට යන්න. ජනාධිපතිවරයාවත් ආණ්ඩුවවත් නෙවෙයි ඒ තීරණය ගත්තේ.”

