තිස්සමහාරාම හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි පියෙකුට හා පුතෙකුට ඉතාමත් නින්දිත ලෙස නිර්වස්ත්‍ර කර අමානුෂික ලෙස පහරදී ඔවුන්ගේ ශරීරවල අස්ථි පවා කැඩීයෑමට සැලැස්වීමට කටයුතු කර ඇති කිරින්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති රංජන් මහතාගේ ක්‍රියාකලාපය
සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම විශාල අගෞරවයක් මෙන්ම කැළලක් ඇති කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, පෙරේදා (14 දා ) තිස්සමහාරාම යටාල රජමහා විහාරස්ථානයේදී පැවැති ජනතා ගැටලු විසදීමේ ජංගම සේවාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා, "අහිංසක නිරායුධ මිනිස්සුන්ට මේ අයුරින් අත පය කැඩෙන්න මිලේච්ඡ ලෙස පහරදීමට කවුද බලයක් දුන්නේ? වැඩබලන ස්ථානාධිපතිවරයා ඉතාමත් ජුගුප්සාජනක ලෙස අර අහිංසක මිනිසා නිරුවත් කර පහරදීලා තිබෙනවා. මම සියලුම කරුණු හොයා ගත්තා. එයා නිර්දෝශියි. එහෙම පෙනෙන්නට තියෙද්දිත් මේ අයුරින් වැඩකරලා තියෙනවා. මේ ගැන පුළුල් පරික්ෂණයක් වහාම පවත්වන්න" යැයි පවසා සිටියේය.

තවද සිද්ධියට සම්බන්ධ කිරින්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට 14දා සිට වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවක්ද ලැබී තිබේ. මෙහිදී ඉතාමත් අමානුෂික ලෙස පොලීසිය විසින් පහරදී තුවාල සිදු කර ඇති තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි ජිනිත් ද සිල්වා මුතුමාල (53) මහතා මෙසේ පවසා සිටියේය. "මම වෘත්තියන් වැලි ප්‍රවාහනය කරන්නක්. එදා අගෝස්තු 30 වෙනිදා මගේ වැලි ටිපර් රථය සහ තවත් ටිපර් රථයක් අතර එකට හැප්පීමක් සිදුව තිබුණා. එය සුළු අනතුරක්.

ඒ නිසා කතාබහ කර එයට මුදලක් දීමෙන් විසඳා ගැනීමට හැකියාව තිබුණි. එහත් කිරින්ද පොලීසියට වාහන දෙක රැගෙන ගිය පසු එවකට කිරින්ද ස්ථානාධිපති නවරත්න මහතා ඔහුගේ සමීපතමයෙකු වන අනෙක් ටිපර් රථ අයිතිකරුගේ ටිපර් රථය මුදාහැර මගේ ටිපර් රථය වෙනුවෙන් හම්බන්තොට මෝටර් රථ පරික්ෂකවරයා ලවා අඩුපාඩු බැලෙව්වා. එහිදී මගේ රථයේ අඩුපාඩු නොමැති බවත් කිරින්ද පොලීසිය මුදාහල ටිපර් රථයට චැසි අංකයක්වත් නොමැති බවට අනාවරණය වුණා. ඊට පස්සේ කිරින්ද පොලිස් ගේට්ටුව වසා ගැරේජ් බාස් කෙනකුත් ගෙනවිත් මගේ ටිපර් රථයේ කොටස් ඉවත් කරන බවට ලද පණිවුඩයකින් මම පොලීසියට ගිහින් ඇහුවා ඇයි මෙහෙම කරන්න මේක නඩු භාණඩයක්නෙ කියලා.

මම එහෙම කිව්වම ස්ථානාධිපතිවරයා කිව්වෙ එය ඔහුගේ අනුදැනුම මත කරන දෙයක් බවයි. ඉන් පස්සේ වැඩබලන ස්ථානාධිපතිවරයා මට පොලීසියට පැමිණෙන ලෙස දැන්නුවා. මම පුතා සමඟ පොලීසියට ගියහම වැඩබලන ස්ථානාධිපති රංජිත් මහතා වෙනත් කාමරයකට රැගෙන ගොස් අපි ලඟ පිහි තියෙනවා කියලා පරීක්ෂා කරන්න ඕනේ කියනවා. එහෙම කියමින් ඔහු මටයි පුතාටයි දැඩි ලෙස පහර දුන්නා.

ඉතා කැත පරුෂ වචනයෙන්ද බැණ වදිමින් පහර දුන්නා. තොපිලා මීට පස්සේ මේ වැලි රක්සාව කරන්න බැහැ, මේක නවත්වන්න ඕනෙ. තොපිට වෙඩි තියලා මරනවා. ගෙදරට කුඩු දාලා අපි උඹලව අල්ලනවා. තොපි මරනවා කියමින් අපිට පහර දුන්නා. මගේ ඇදුම් සේරම අන්තිමට ගැලෙව්වා. මටයි පුතාටයි හොදට ගහලා කුඩුවේ දැම්මා. ඊට පස්සේ එළියට අරගන නිලධාරීන් හයදෙනකු කැඳවා මුන්ගේ කකුල කඩන්න කියලා ස්ථානාධිපතිවරයා අණ කළා. නිලධාරින් පස්දෙනෙකුම බැහැ කිව්වා. එක් අයෙක් කිව්වා රෑට කකුල කඩන්නම් කියලා. මට දැඩි ලෙස අපහාස කරමින් ගැහුවා. මගේ වම් කකුල අස්ථි විනාශ වෙලා වම් අත් අස්ථි කැඩිලා. කන තුවාල වෙලා. මුළු ශරිරයේම තැලීම් පොඩිවීම් රාශියක් වුණා. ඊට පස්සේ සුව සැරිය ගිලන් රථයෙන් මාව දෙබරවැව රෝහලට රැගෙන ගියා. එතනින් හම්බන්තොට රෝහලට මාව රැගෙන ගියා.

රෝහල් දෙක්දිම අධිකරණයේ මහේස්ත්‍රාත්වරු පැමිණ මගෙන් කටඋත්තර ලබා ගත්තා. පොලීසියේ දැඩි ඉල්ලීම මත යැයි පවසමින් මාව රක්ෂිත බන්ධනාගාරගත කළා. සැප්තැම්බර් lදා තමයි මම ගෙදර ආවේ. නැවතත් මේ දැඩි අසාධාරණය ගැන මම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වෙත දැන්වුවා. එතුමා ඒ පිළිබඳව සොයා බලා පරීක්ෂණයක් මේ වනවිට පවත්වනවා.මේ ගැන සාධාරණයක් ඉටුවේ යැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා
- රුක්මන් රත්නායක