ශ්‍රි ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ (2019) අවසන් මාස නවයේදී රුපියල් කෝටි 1,500ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රි ලංකා මහා බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. එම වාර්තාවට අනුව ගුවන්
සමාගම ඊට කලින් වසරේ (2018) ලබා තිබූ මූල්‍ය පාඩුව රුපියල් කෝටි 3,300කි.  පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් පසු ගුවන් මගීන් ප්‍රමාණය අඩුවීම ගිය වසරේ පාඩුවට ප්‍රධානම හේතුව බව සඳහන් කරන මහ බැංකු වාර්තාව ආදායම පහත වැටුණද අඩු ඉන්ධන මිල ගණන් හා ඉන්ධන ප්‍රශස්තිකරණ පියවර හේතුවෙන් සමාගම මෙහෙයුම් වියදම අඩු කරගෙන ඇතැයි ද ප්‍රකාශ කරයි.  පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණිම ආරක්ෂක හේතු මත අඩුවීම හේතුවෙන් ගුවන් සමාගම් එකොළහක් මෙරටට සිදුකළ පියාසර වාර ගණන අඩු කර ඇත. මේ අනුව සතියකට සිදුවූ ගුවන් ගමන්වලින් තිස් දෙකක් ද අවලංගු විය.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකරන ලද මුළු මගී හැසිරවීම් ප්‍රමාණය 2018 වසරේ වාර්තා කරන ලද මිලියන 10.8ට සාපේක්ෂව 2019 වසරේදී මිලියන 99ක් දක්වා සියයට 8.3කින් පහත වැටී තිබිණැයි ද එම වාර්තාවේ දැක්වේ.  ගුවන් තොටුපොළේ භාණ්ඩ හැසිරවීම් ප්‍රමාණයද 2018 වර්ෂයේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 2,68,496 හා සැසඳීමේදී මෙට්‍රික් ටොන් 2,46,406ක් දක්වා සියයට 8.2ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත. දේශීය ගුවන් මගී හැසිරවීම් ද 2018 වසරේ වාර්තා කළ 30,725ක සංඛ්‍යාව හා සැසඳීමේදී ගිය වසරේදී 20,584ක් දක්වා සියයට 33ක පසුබෑමක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


-සුජිත් හේවාජුලිගේ-