මාස තුනක් පමණ වන බලු පැටවකු නිසා ඇති වූ කතාබහක් දුර ගොස් 51 හැවිරිදි දෙදරු පියකු පෙරේදා (12) මියගොස් ඇතැයි ගලහ පොලිසිය කීය. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දෙල්තොට වත්තේ
සින්නවේළු සෙල්වරාජ් නමැති (51) දෙදරු පියකු බව පොලිසිය කීය. මියගිය අය ගලහ නගරයට ගොස් නැවත නිවෙසට පා ගමනින් පැමිණෙමින් සිටියදී වැස්සට තෙමෙමින් පාරේ සිටි‍ෙ මාස තුනක් පමණ වයසැති කුඩා බලු පැටවකු නිවෙසට රැගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලද හෙළි වී ඇත. අනතුරුව එම සුනඛයාගේ හිමිකරු නිවෙසට පැමිණ බලු පැටවා ඉල්ලා ඇති අතර, අතරමගදී මෙම බලු පැටවා වැස්සට තෙමෙමින් සිටියදී තමා පසුපසින් පැමිණි බවත් බලු පැටවාගේ අයිතිකරුවන්  නොදන්නා බවත් පවසා බලු පැටවා ආපසු දී ඇති බව ද  පොලිසිය කිය.



එහිදී බලු පැටවාගේ අයිතිකරු සහ මෙම පුද්ගලයා අතර බහින්බස් වීමක් ඇති වී පහරදීමක් සිදුව ඇති බව පොලිසිය කළ පරික්ෂණවලදී හෙළි වී ඇත. පහර කෑ පුද්ගලයා බිම ඇද වැටී අසාධ්‍ය වූ නිසා අසල්වැසියන් 1990 ගිලන් රථය ගෙන්වා ඔහු ගලහ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.  තත්වය බරපතළ වූයෙන් පහර කෑ මියගිය අය මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති අතර පෙරේදා (12) අලුයම ඔහු මිය ගොස් තිබෙන බව පොලිසිය කීය.

සිද්ධිය පිළිබඳව ගලහ පොලිසිය පරික්ෂණ අරඹා ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ජගත් මහගෙදර මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබුණි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද 43 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි. සිද්ධිය දුටු හා මියගිය අය රෝහලට රැගෙන ගිය අයකු ද පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

(තොරතුරු - සුරංග ගජනායක හා ඩබ්.ඒ. අසේල)