මුහුණු පොතෙන් (ෆේස් බුක්) හඳුනා තම පුතා විවාහ කරගත් මනාලිය මීට පෙර විවාහ වූ කාන්තාවක් බව එම විවාහය සිදුවි සති තුනක පමණ කාලයකට පසුව දැනගත් මවුපියන් මනාල යුවල ද කැටුව පැමිණ ඒ
සම්බන්ධයෙන්  පැමිණිල්ල කළ බව උහන පොලිසිය පවසයි.  උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විභාග කර පැමිණිලි විභාගය අවසානයේ මනමාලයාගේ මවුපියන් මනාලිය කැටිව ගොස් අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින ඇයගේ මවට බාරදුන් බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය. ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න මහතා හමුවේ සිදුවූ පැමිණිලි විභාගයේ දී හෙලිවූ කරුණු අනුව සිද්ධිය මෙසේය.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි එම වයසේ පසුවන තරුණියක් මුහුණුපොත මගින් හඳුනාගෙන ඇය සමග පසුව ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මුහුණු පොතෙන් දැන හඳුනාගෙන මාසයක පමණ කාලයකට පසුව එම තරුණිය උහන ප්‍රදේශයේ සිට සිය පෙම්වතා සොයාගෙන කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබේ.  මවුපියන් මේ සම්බන්ධය නතර කරන ලෙස පවසමින් හිරිහැර කරන නිසා බැරිම තැන ගෙදරින් ආ බව තරුණිය සිය පෙම්වතා සමග පවසා ඇතැයි කියති.

තරුණයා මේ බව ඔහුගේ මවුපියන්ට දැනුම් දී ඔහුගේ ද ආශිර්වාදය ඇතිව පසුදින ඔවුන් දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වී තිබේ.  තරුණයාගේ මව පවසන්නේ මනාලියගේ වගතුග ඇයට රහසින් සොයා බලා ඇතැයි පොලිසිය පවසයි.  පුතා විවාහ වී ඇත්තේ මීට පෙර විවාහ වී සිටි කාන්තාවක සමග බව එය සොයාබැලීම්වලදී මවට දැනගැනීමට ලැබී ඇතැයි ද පොලිසිය කියයි. එම විවාහයේ කසාද සහතිකය ද සොයා ගත් මව මේ බව ඇයගේ සැමියාට ද දැනුම් දී පුතා සහ ඔහු මීට සති තුනකට පමණ පෙර විවාහ කරගත් මනාලිය ද කැටුව කුලියාපිටියේ සිට උහන පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කළ බව පොලිසිය කීය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-