තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර  දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමග විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය 1275ක්, සීනි පැණි බෝතල් 38ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය
පවසයි.විශේෂ කාර්ය බළකාය සහ තේ මණ්ඩලයේ  නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක්  සිදුකර මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගනු  ලැබූ අතර, එම කර්මාන්තශාලාවේ ගබඩාවට ද  සීල් තබා ඇත මෙම කර්මාන්තශාලාව තුළ දීර්ඝ කාලයක සිට රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරන බවට ලැබුණු තොරතුරක් මත වරින් වර වැටලීම සිදුකළ ද එම කර්මාන්තශාලාව තුළ සීසීටීවී කැමරා සවිකර දැඩි ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන තිබීම නිසා එම වැටලීම් සාර්ථක  නොවූ බව විශේෂ කාර්ය බළකාය පවසයි. කර්මාන්ගාලාවේ තිබී ෆෙරස් සල්ෆේට්  රසායනික ද්‍රව්‍ය කිලෝ 20ක්, සෝඩියම් බයි  කාබනේට් රසායනික ද්‍රව්‍ය කිලෝ 250ක්, සීනි පැණි බෝතල් 138ක්, හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය කිලෝ 5ක්, ශ්‍රේණිගත නොකළ තේ කොළ කිලෝ 1165ක්, වියළන ලද තේ කිලෝ 400ක්, බී.පී.අයි. වර්ගයේ තේ කොළ කිලෝ 1500ක්, බී.ඕ.පී. වර්ගයේ තේ කොළ කිලෝ 1600ක් සාල් ලෙස අත්අඩංගුවට ගෙන කසළ තේ ගබඩාවට සීල් තැබූ බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙම කර්මාන්ගාලාවටම අයත් කසළ තේ කිලෝ 80,000ක් සහිත ගබඩාවකට ද මෙහිදී සීල් තැබූ බව වැටලීම සිදුකළ නිලධාරිහු පැවැසූහ.  මෙම කර්මාන්තශාලාව ප්‍රධාන මාර්ගයෙන් මඳක් දුර පිහිටා ඇති බවත් පොලිසිය හෝ කිසිවකු එයට ඇතුළු වුවහොත් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ප්‍රධාන මුර කුටිය හරහා විදුලි සංඥා මගින් ඒ බව කර්මාන්තශාලාවට දැනුම්  දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බවත් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසිය.  මොවුගේ ඔත්තුකරුවන් ගම්පොළ නගරයේ හා අවට ප්‍රදේශයන්හි යොදවා සිට ඇති බව ද වාර්තා වේ. වැටලීම සඳහා ගිය නිලධාරින් ඔවුන් මෙන් වෙස් වළාගෙන  ගොස් මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියා සිය භාරයට ගෙන හොර රහසේ කර්මාන්තශාලාවට ඇතුළු වී මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙම කර්මාන්තශාලාව තුළ කසළ තේ ජාවාරමක් ද සිදුවන බවටත් අමු තේ සුළු ප්‍රමාණයක් සමග හොර රහසේ කසළ තේ අඹරා රසායනික ද්‍රව්‍ය යොදා සකස් කර ඒවා මෙරට හා විදේශ වෙළෙඳපොළට යවන බවටත් තොරතුරු හෙළි වී ඇති  බවත් වැටලීම සිදුකළ නිලධාරීහු පවසති. මෙමගින් මොවුන් අධික ලාභයක් ලබන බවට ද වැටලීම  සිදුකළ නිලධාරින්ට තොරතුරු ලැබී තිබේ.  කර්මාන්තශාලාවේ ගොඩනැගිලි කිහිපයකම රසායනික ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන නිලධාරින් බාරයට ගත් බව  ද විශේෂ කාර්ය බළකාය පවසයි.  මොවුන් ගබඩාවල කසළ තේ කිලෝ ලක්ෂ ගණනින් ගබඩා කර ඇති බවත් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා නිමි තේ ලෙස සකස් කරන්නට ඇතැයි සැක කරන බවත් වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවැසීය.

සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා සහ තේ පරික්ෂකවරුන් වන චමින්ද සමරතුංග, එස්.  කේ.ටී.පී. අහංගම යන නිලධාරින් මෙම කර්මාන්තශාලාවේ පොත්පත් පරික්ෂාවට ලක් කිරිමේදී එයට ලැබී ඇති අමු දලු ප්‍රමාණය ඉන් පිටකර ඇති නිමි තේ ප්‍රමාණය අතර වෙනස ඉතා ඉහළ අගයක් ගන්නා බව ද හෙළි වී තිබේ.  එම පොත්පත් ද නිලධාරින් බාරයට ගෙන ඇත.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සහකාර තේ කොමසාරිස් සමරවීර මහතා පැවැසුවේ මේ ආකාරයට තෙත්වලට කිසියම් ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීමත්, එවැනි රසායනික ද්‍රව්‍ය ගබඩාවේ තබාගැනීමත් වරදක් බවයි.  තේවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කර්මාන්තශාලා 15ක් පමණ මේ වනවිට වසා දැමීමට පියවර ගෙන ඇතත් අධික ලාභයක් ලැබෙන නිසා දිගින් දිගටම එවැනි ක්‍රියා සිදුවන බව ද ඔහු පැවැසීය.  මෙවැනි රසායනික ද්‍රව්‍ය යෙදු තේ පානය  කිරිමෙන් මිනිසුන් දිගු කාලීන රෝගාබාධවලට ලක්වෙන බව කී සහකාර කොමසාරිස්වරයා මෙරට තේ කර්මාන්තය බේරා ගැනීමට නම් සියලු දෙනා මෙවැනි කටයුතුවලට එරෙහිව නැගී සිටිය යුතු බව ද ඔහු පැවැසීය.