දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා  විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් පෙරේදා (24) වේලාසනින් පාසල නිමාකර මංගල කටයුත්තක් සඳහා බැහැර යෑමත් සමග පාසල් දරුවන් ඇතුළු තමන්  දැඩි අසීරුතාවට පත්වූ බවට එම පාසල් දරුවන්ගේ මවුපියෝ චෝදනා කරති. මෙම විදුහලේ පළමු වසර සිට
13 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර තමන්ට මගුල් ගෙදරකට යෑමට ඇති බැවින් වේලාසනින් පාසැල අරින බව ඒ ඒ පත්තිභාර ගුරුවරත් සිසුන්  දරුවන්ට දවල් 12.30 පමණ දන්වා ඇත. සිසුන් හරහා මවුපියන්  ද දැනුවත් කර ඇත.  කුඩා දරුවන් රැගෙන යෑමට පැමිණෙන මවුපියන් ඒ පිළිබඳ දැනුවත්වී නොසිටි හෙයින් එම දරුවන් කල්වේලා ඇතිව නිවෙස්වලට පැමිණ ඇති බවත් මගුල් ගෙදරකට යන බවට  කලාප අධ්‍යපන කාර්යාලයේ නිලධාරින් ද ලිඛිතව දැනුවත් කර නොමැති බවත් මවුපියෝ කියති.

මේ නිසා එක වසරේ සිට 13 වසර දක්වා විදුහලේ සිසු  දරුවන් 800කට ආසන්න පිරිසක් අසීරුතාවකට මුහුණදුන් බව ද පැවසේ.  පාසල් සිසුන් සහ මවුපියන් නගන මේ චෝදනාව පිළිබඳ අප මැදගම මහා විද්‍යාලයේ විදුහල්පති ගාමිණී හේරත් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.  ඔව් මං මේ මගුල් ගෙදර යන්න තමා හදන්නේ . පාසල ඇරියේ එකට විතර. යකෝ අපි පාසල කලින් ඇරියට දරුවන්ට හවස පන්ති කරනවා. ඇවිත් බලපියව් තොපේ පත්තරේ ඕනෑ එකෙකුට කියලා ඕක දාගනියව්. මම බය නැහැ යැයි ආවේගශීලීව පිළිතුරු දුන්නේය.  අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ එලෙස පාසල් කාලයේ විවාහ උත්සවයකට සහභාගි වන බවට තමාට ලිඛිතව හෝ වාචිකව දැනුම් දීමක් සිදු නොකළ බවත් එලෙස සහභාගිවීම නීති විරෝධී බවත් එලෙස ගොස් ඇතිනම් මවුපියන් ලිඛිතව දැනුවත් කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවය.

-නිමල් ජයරත්න-