මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන සේකර් උදයකුමාර හෙවත්  “මෝදර උදයා” නමැත්තා කොළඹ මෝදර උයන නිවාස සංකීර්ණයේ හයවන
මහලේ කොන්ක්‍රිට්වලින් තැනූ බංකරයක් (චමිනියක්) තුළ සැගවී සිටිය දී 23 දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මල ඇතුළු රන් භාණ්ඩ, හෙරොයින් ග්‍රෑම් 27ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.  සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී කඩුවක්, නන්චක්කුවක්, කලා  කිරිඤ්ඤයක් ද තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම සැකකරු විදේශවල සැගවී සිටින කුඩු ලාල්, පූකුඩුකන්නා නමැත්තාගේ සහ කුඩා කුමාරි, කුඩු රාණි නමැත්තියගේ මත්කුඩු ජාවාරම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.  පොලිස් නිලධාරින් මොහුට අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයක දී ගිය ද අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් ඔහු නිවසේ රහස් බංකරයේ සැගවී සිට පහළට පැමිණ පළා ගොස් ඇති බවත් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම සැකකරු මෝදර උයන නිවාස සංකීර්ණයේ 6 වැනි මහල් නිවසක සැගවී සිට කාලයක පටන් මත්කුඩු ජාවාරම් කරන බවට විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජන් දිසානායක මහතාට ලැබුණු තොරතුරක් අනුව එම ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් පෙන්දා රාත්‍රී 10.00ට පමණ එම නිවාස සංකිරණය වටලා මෙහෙයුමක් ආරම්භ කළ බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

නිලධාරීන් සැකකරු රැඳී සිටින නිවසට ගිය අවස්ථාවේ එහි දොරගුලු දමා තිබී ඇති අතර නිලධාරින් දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇත.  සැකකරු එම නිවසේ විශාල ප්‍රමාණයේ දොරවල් තුනක් පමණ සවිකර තිබූ බවත්, එම දොරවලට අමතරව යකඩ දොරවල් ද සවිකර දැඩි ආරක්ෂිතව තිබූ බවත් උසස් නිලධාරියෙක් පැවසීය.  සැකකරු රැඳී සිටි කාමරයේ දොරවල්, යකඩ දොරවල් දමා අධි ආරක්ෂිත ලෙස සකස් කර තිබූ බව ද එම නිලධාරියා කීය. මොහු රැදී සිටින කාමරයෙන් රහස් බංකරය වෙත ගොස් සැගවී සිටින බවත්, එම හේතුවෙන් කිසිවකුට මොහු හසු නොවූ බවත් විශේෂ කාර්ය බළකාය  කියයි. විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පෙරේදා නිවස වටලන අවස්ථාවේ දී සැකකරු රහස් බංකරයේ සැගවී සිට ඇති අතර නිලධාරින් නිවස  සම්පුර්ණයෙන්ම සෝදිසි කිරීමේ දී සැකකරුගේ රහස් බංකරය හමුවී ඇත. බංකරය පරික්ෂා කිරීමේ දී සැකකරු  එහි සැගවී සිටිය දී නිලධාරින්ට හසුවී තිබේ.

මොහු ඔහුගේ ගැනුම්කරුවන්ට මත්කුඩු දෙන්නේ අවශ්‍ය ප්‍රමාණය මෙම බංකරයේ සිට බිමට දැමිමෙන් බව ද විශේෂ කාර්ය බළකාය කියයි.  සැකකරු අවට පිරිස බිය ගන්වමින් වෙනම සංවිධානාත්මක කල්ලියක් බිහිකරමින් සිටි පුද්ගලයකු බව ද එම බළකාය සඳහන් කරයි.  මොහුගේ බිරිඳ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තැනැත්තියක් බව ද විශේෂ කාර්ය බළකා ආරංචිමාර්ග පවසයි.  මත්කුඩු ජාවාරම, පුද්ගලයන් බිය ගන්වා කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

-ඉන්දිකා රාමනායක-