ලිට්රෝ සමාගමට තරගයක් ඇතිවන පරිදි ගෑස් සඳහා තවත් ආයතනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ස්ථාපිත කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව සඳහන් කර සිටියේ වසර 10කට ආසන්න කාලයක්
දිරාපත් වෙමින් පවතින බව සඳහන් සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පිහිටි එල්.පී.ගෑස් පිරවුම් යන්ත්‍රය 24දා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2008" වර්ෂය වනවිට ආණ්ඩුවෙන් ගෑස් නිෂ්පාදනය කරලා බෙදා හරින්න සමාගමක් නැති නිසා බනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනවා ගෑස් ව්‍යාපාරය පටන් ගන්න. ගෑස් ව්‍යාපාරය පටන් ගන්න අරගෙන තියෙනවා පරණ තාක්ෂණයෙන් යුතු යන්ත්‍රයක්.

මෙහිදී ලාෆ් ගෑස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කරුණු දක්වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිෂ්පාදනය කරන ගෑස්වලින් සියයට සීයක් ෂෙල් සහ ලාෆ් සමාගම් සඳහා ලබාදීමට එකඟතාවක් පවතිනවා. බනිජ තෙල් නීතිගත සංස්ථාව මෙයට පටහැණිව තමයි ගෑස් ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ කියලා.

ඒ එකඟතාව නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත තමයි මේ යන්ත්‍රය භාවිත කිරීම නතර වෙන්නේ. ඒත් අවුරුදු එකොළහක පමණ කාලයක් මේ යන්ත්‍රය මෙසේ තිබෙනවා. එහෙම එකඟතාවක් තිබෙන බව දනිමින් මේ යන්ත්‍රය මිලදී ගැනීමට මිලියන 25ක් සහ අනෙකුත් වියදම් මිලීයන 12ක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඔක්කොම මිලියන37ක් මේ සඳහා වියදම් කර තියෙනවා. මහජන මුදල් මිලියන 37ක් වියදම් කරලා මේ වැඩේ කළේ ඇයි කියලා අපි හොයනවා.

අධ්‍යක්ෂ මණ්ඩලයද නොමඟ යවලා මිලියන 37 නාස්ති කරන්න කටයුතු කරපු මේ මිලදී ගැනීම පිටුපස සිටියේ කවුද කියලා අපි අනිවාර්යෙන්ම හොයනවා. ඒ වගේම රජයේ ආයතනයක් වන ලිට්රෝ ගෑස් එකට අපි ආරාධනා කරනවා මේ යන්ත්‍රය අරගෙන ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න කියලා.

දෙවනුව මේ තියෙනවා යැයි කියන එකඟතාව මොකක්ද කියලා අප සොයා බැලිය යුතුයි. ගෑස් ව්‍යාපාරයක් තරඟකාරී විය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. ලිට්රෝ සමාගමත් අපේ සහෝදර සමාගමක්. නමුත් ඒ සමාගමට කිසිම අසාධාරණයක් නොවෙන පරිදි බනිජ තෙල් නීතිගත සංස්ථාවටද ගෑස් වෙළඳ පොළට පැමිණීමට තිබෙන බාධාව මොකක්ද කියලා හොයලා බලනවා. මොකද අපිට විශාල ගෑස් නිධියක් තියෙනවා.

මගේ ඉලක්කය මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ලංකාව ගැස් නිෂ්පාදනය කරන රටක් බවට පත් කිරීමයි. ඒකට අවශ්‍ය මූලික පියවරවල් ගණනාවක් අපි අරගෙන ඉවරයි. මේ වනවිට අපේ ලංකාව තුළ ස්වභාවික ගෑස් ප්‍රතිපත්තියක් සඳහා ඇමති මණ්ඩලය තුළ අනුමැතිය අරගෙන තියෙනවා. අද මම මෙතනට ආවේත් ඛනිජ තෙල් ගවේෂණ කාර්යාලයට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ උපදේශකවරයෙක් පත් කරලා. ලංකාවේ තියෙන ගෑස් ප්‍රමාණය ගත්තම ඉන් ප්‍රයෝජන ගන්න පුළුවන් කාරණා හතරක් තියෙනවා. එනම්, විදුලිය නිෂ්පාදනය, ගෘහස්ථ පරිභෝජනය, වාහන දිවීම සහ කර්මාන්තශාලාවල අවශ්‍යතාවයි. මේ කාරණාවලට භාවිත කිරීමේදී අපේ යම් ප්‍රමාණයක් ලිට්රෝ එකට දෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ගෑස් සඳහා තවත් තරඟකාරී ආයතනයක් බිහි කර ගැනීමට” යැයි පැවසීය.

අදාළ එල්.පී.ගෑස් පිරවුම් යන්ත්‍රය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා වූ ත්‍රිපුද්ගල කමිටුවක් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය 21 වැනිදා පත්කරන ලද අතර, එම කමිටු වාර්තාව පසුගිය 23වැනිදා අමාත්‍යවරයාට භාර දෙන ලදී.

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී. පී. එස්. ජේ. කුමාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවෙහි සෙසු සාමාජිකයන් වූයේ බණිජතෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යත්තර විගණන කළමනාකරු ඉන්දික රණසිංහ, සපුගස්කන්ද පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකාර (විදුලි සහ උපකරණ) එල්. පී. එම්. ආර්. පෙරේරා යන මහත්වරුන්ය.
- නිදර්ශනී වික්‍රමසිංහ -