කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා පාපැදි මංතීරුවක් රජය සැලසුම් කර තිබේ.
මෙම පා පැදි මාර්ගය වරාය නගර පිවිසුමෙන් ආරම්භ වේ. අනතුරුව කෙටි දුරක් ගාලුපාරට සමාන්තරව ගමන්කර
බාලදක්ෂ මාවතේ බේරේ වැව දෙසට හැරි ගංගාරාමය හා කලම්බො සිටි සෙන්ටර් ගොඩනැගිල්ල අතරින් විහාර මහාදේවී උද්‍යානය දෙසට ගමන් කරයි. අනතුරුව මං තීරුව යොමු වන්නේ උද්‍යානය මැදිනි.
උද්‍යානය මැදින් නෙළුම් පොකුණ රඟහල අසලින් නිදහස් චතුරශ්‍රය තෙත් ගමන් කර ආකේඩ් ගොඩනැගිල්ල අසලින් බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වෙත ගමන් කරයි. 

බොරැල්ල කනත්ත පසුකර බේස්ලයින් සීමාවේ ඇති ගොල්ෆ් පිටිය හරහා කෝට්ටේ වගුරු බිම් අතරින් දියත උයන තෙක් පළමු අදියර ගමන් කරයි.එතැන් සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තු වටා විහිදී නැවත වරක් දියත උයන දක්වා පැමිණේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල, ශාන්ත බස්තියන් ඇල මාර්ගය, අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පාවෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර ඇත.

අදියර 01 යටතේ මේ මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් වේ. ඕනෑම ස්ථානයකින්මුදල් ගෙවා පාපැදියක් ලබාගෙන මේ ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පාපැදිය භාර දිය හැකිය. මෙම මාර්ගය භාවිත කරන්නන් බොහෝවිට එහි ගමන් කරන්නනේ උදෑසන හෝ රාත්‍රී කාලයේ යැයි උපකල්පනය කරන බැවින් ආලෝකය අඩ අවස්ථාවල භාවිත කළ හැකි ආකාරයේ පහන් හා වර්ණ ගැන්වීම් ජාත්‍යාන්තර ප්‍රමිතියකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතය.