බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පොඩි ලැසී” ගේ හෙරොයින් ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා විසින් සිම්කාඩ්පත් 55දාගනිමින් මෙහෙයවනු ලැබ ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් පැවසීය. එම සිම්කාඩ්පත් 55 ලබාගෙන ඇත්තේ අපරාධ
පරික්ෂණ   දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින විහග ප්‍රභාත් නමැත්තා විසින් බවත්, එම සිම්කාඩ්පත් හා සම්බන්ධ වෙමින් මොවුන් දකුණු පළාත තුළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ ඉතාමත් සූක්ෂම ආකාරයෙන් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  අධිකරණයට දැනුම්   දුන්නේය.


මෙම සැකකාර පතිරහැන්නදිගේ විහග ප්‍රභාත් නමැත්තා සිම්කාඩිපත් 55 ලබාගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ “කොමියුනිකේන්' ආයතනයකින් බවත්, ප්‍රදේශවාසීන්ගේ ජාතික හැඳුනුම්පත් ලබා ගනිමින් එම ආයතනය මෙලෙස සිමිකාඩ්පත් ලබාදීම සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.  ඒ අනුව මෙහි 14 වන සැකකාර උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්  නොකරන බවත් බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරින් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ 14 වන සැකකරු ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ සිටින්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන උදාර සම්පත් නමැත්තාය. මෙම සැකකරු “පොඩි ලැසී" නමැත්තාගේ ඥාති සොහොයුරකු  ද වන බව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා,  විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා, පොලිස් සැරයන් කරුණානායක, උපපොලිස් පරික්ෂක උපාලි යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඕනෑම පුද්ගලයකුට ජාතික හැඳුනුම්පතක් නොමැතිව අදාළ  කොමියුනිකේෂන් ආයතනයට ගොස් සිම්කාඩ්පතක් ලබා ගත හැකි බවත් වීමර්ශනයට අදාළව එම ස්ථානයට ගිය රහස් පොලිස් නිලධාරින්ට ද මෙම ආයතනයේ හිමිකරු සිමිකාඩ්පත් 10ක් ලබා දී ඇති බවත් අධිකරණයේ දී කරුණු හෙළි විය.  ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බව ද අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම ආයතනයට යම් යම් කාර්යයන් සිදුකර ගැනීමට පැමිණෙන ප්‍රදේශවාසීන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාගෙන ඇති මෙම ආයතනයේ හිමිකරු ඒවා සිය පරිගණකයේ ගබඩාකර අදාළ සිම්කාඩ්පත් ලබාදී ඇති බවත් විමර්ශන කණ්ඩායමට අනාවරණය වී ඇති පරිදි ඔහු සතුව එවැනි ජාතික හැඳුනුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත්  අධිකරණයේ දී කරුණු හෙළි විය.


"පොඩි ලැසී" නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ලබාදෙන මත්ද්‍රව්‍ය  කලාප අනුව වර්ග කර විවිධ වර්ණ  යොදාගනිමින් අලෙවි කළ ආකාරයටම  මෙම සිම්කාඩ්පත් ද යොදා ගනිමින් සංවිධානාත්මකව මෙම මත්ද්‍රව්‍ය  ජාවාරම සිදුකර ඇති බවත්, එම සිම්වලට දුරකතන ඇමතුම් ලබාදෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැත්තාත් විහග ප්‍රහාත් නමැත්තාත් පමණක් බවට ද මේ වත විට කරුණු අනාවරණය වී ඇති බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  මෙම සිද්ධියේ 14වැනි සැකකරු වන කලුදොර උදාර සම්පත් නමැත්තා ඉකුත් 2018 වර්ෂයේ ජුනි මස 29 වැනිදා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ මල්වත්ත උතුර තෙල්වත්ත පදිංචි ආඩම්බරගේ අෂාන් අල්විස් යන නමින් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය .  උදාර සම්පත් නමැත්තා රැකියාවක් ලබාදෙන බව පවසා ඔහුගෙන් ජාතික හැඳුනුම්පතේ සහ උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගෙන ඒවායෙන් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ඇති බවට ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන විහග ප්‍රභාත් නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් තුන් ලක්ෂ විසි හතර දහසක මුදල නඩුවේ ගිණුමට බැර කරන ලෙසට නියෝගක් ලබාදෙන්නැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අධිකරණය අදාළ නියෝගය ලබා දුන්නේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් කණ්ඩායම මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධවෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරිම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

-නිමන්ති රණසිංහ-