ගිනි ඇවිළිමකින් බරපතළ තුවාල ලත් 6 හැවිරිදි දැරියක් 13 වැනිදා පස්වරුවේ මාරවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා  බොරැල්ල රිජ්වේ ළමා රෝහලට යැවූ බව මාරවිල  පොලිසිය පවසයි. මාරවිල තල්විල, බෝගහ පාර ප්‍රදේශයේ මූලධර්මවාදී ආගමික මධ්‍යස්ථානයක නැවැතී  සිටී දැරියගේ පියා සහ මව දැරිය හැර ගොස්  ඇති බවත්, සීයා සමග එම මධ්‍යස්ථානයේ  කොටසක ඔවුන් පදිංචිව සිට ඇති බවත්
පොලිසිය කියයි.දැරිය එම භූමියේ පිහිටි කසළ ගොඩකට ගිනි තැබිමට යාමේදී ගිනි ඇවිළුණු බව මුලදී ප්‍රකාශ වුවත්, වතුර ටැප් එකක් අසල සිට සෙල්ලම් බත්  ඉවීමට ප්ලාස්ටික් භාජනයකට හාල් දමා කඩදාසි  දල්වා ළිපට දැමීමට යාමේදී ඇයගේ ගවුමට ගිනි ඇවිළීමෙන් දැරිය පිළිස්සී ඇතැයි මාරවිල පොලිසිය හා හලාවත විශේෂ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ස්කකය සිදු කළ පරික්ෂණවලින් තහවුරු වූ බව මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා  කීය.

දැරිය එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිටි බව අසල නිවසක කාන්තාවක් දැක ඇති අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ද පොලිසියට ලබාදී තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දැරිය පාසල් නොයවන අතර, සීයාගේ හිරිහැරවලට ද ලක්වන බවය. තව ද ඇය ගිනි ගෙනත් වේදනාවෙන් කෑගසද්දී රැස්වූ පිරිස රෝහල කරා ගෙන ගිය බව ද "මාමලා මට ගිනි තිබ්බා" යනුවෙන් කෑගැසූ බව ද ඔවුහු කීහ. මාරවිල රෝහලේදී ද මාමලා 80ක් විතර ඇවිත් තමාට ගිනි තැබූ බව වේදනාවෙන් කෑගසමින් ඇය පවසා ඇත.

විවිධ ප්‍රකාශ හා හෙළිදරව් වන සිද්ධින් මත විධිමත් විමර්ශන සිදු කළ බවත්, ඒ අනුව දැරියගේ කෑගැසීමට පැමිණි සෙනග දැකීමෙන් සහ ඇය බියට පත්වීම හේතුවෙන් කම්පනයට පත්ව සිටි බවත් පොලිසිය පැවැසිය. දැරියගේ වම් අත, පපු පෙදෙස හා දෙපා ආදිය බරපතළ ලෙස පිළිස්සී තිබුණි. ඇය ඊයේ (14) වනවිටත් බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.  කෙසේ වුව ද සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරන බවත් දැරියගේ ඇඳ සිටී ගවුමේ පිලිස්සුණු කොටස් රස පරික්ෂකවරයා වෙත යැවීමට කටයුතු කළ බවත් මාරවිල මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

-ට්‍රික්සි කොන්ස්ටන්-