මන්ද මානසික තරුණියක වරින්වර දූෂණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පෙදරේරුවකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා බරපතළ වැඩ සහිත වසර 54ක සිර දඩුවමක් නියම කළේය. දූෂණයට ලක් කළ මන්ද මානසික තරුණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට නියම කළ මහාධිකරණ
විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 75,000ක දඩයකට ද ඔහු යටත් කළේය.  දඩ සහ වන්දි මුදලට අමතරව රුපියල් 15,000ක මුදලක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අරමුදල් තැන්පත් කිරිමට නියම කළ විනිසුරුවරයා එම දඩ සහ වන්දි මුදල්  නොගෙවුවහොත් වසර හතර හමාරක බරපතළ වැඩ සහිත
සිර දඬුවම්වලට විත්තිකරු යටත් කෙරිණි. වර්ෂ 2012 දෙසැම්බර් මස 18 වැනිදාත් 2013  පෙබරවාරි මස 18 වැනිදාත් අතර කාලයේ මැද මහනුවර ප්‍රදේශයේ දී මන්ද මානසික තරුණියක් දූෂණය කළ බවට නීතිපතිවරයා විත්තිකරුට  එරෙහිව වෙන වෙනම චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණි.

මේ සම්බන්ධයෙන් පැවැති දිර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහිව නගා තිබු සියලු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා සිය දීර්ෂය නඩු තීන්දුවේ සවිස්තරව සඳහන් කර තිබිණි. චෝදනාවට වරදකරු වූ විත්තිකරුට එක් මචෝදනාවකට වසර 18 බැගින් චෝදනා තුනට වසර 54ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් චෝදනා තුනට රුපියල් 75,000 ක දඩ නියම කළේය. ඊට අමතරව දූෂණයට ලක්වූ තරුණියට සහ වින්දිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලට වන්දි  ගෙවීමට විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබිය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතිඥ ධනුෂ්ක රාහුබද්ද මහතා පෙනී සිටියේය.

-ජේ.එල්.ජයසිංහ-