විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.     පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම බොහෝ දුරට හෙට (17) දිනයේ සිදු කෙරෙනු ඇත. මේ අතර විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධයෙන් අලුතින් කෙටුම් පතක් ඉදිරිපත් නොකර
දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතටම අවශ්‍ය සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අවස්ථාවේදී (කාරක සභා අවස්ථාවේදී) සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි දැන ගන්නට ඇත. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව  එම කමිටු සාමාජිකයන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (15) බාරදෙනු ලැබීය. මේ කමිටු වාර්තාව අද (16) කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත්  කිරිමට නියමිතය.


විසිවැනි සංශෝධනයට අලුතින් එකතු කළ යුතු හා  සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව කමිටු නියෝජිතයෙක් අගමැතිවරයා ඊයේ දැනුවත් කළහ. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කෙරුණු කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා කටයුතු කළේය.මේ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අලිසබ්‍රි, උදය ගමන්පිල, නිමල් සිරිපාල ද සිල්වා හා විමල් වීරවංශ යන ඇමැතිවරුද සුසිල් ප්‍රේමජයන්ත හා එස්. වියලේන්දරන් යන  රාජ්‍ය ඇමැතිවරුද ඩිලාන් පෙරේරා හා ප්‍රේමනාත් සී. දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කටයුතු කළහ.  විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් 13 වැනිදාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම්පතක්, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වූ දින සිට දින දාහතරකින් පසුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිව්වේ.  ගැසට් නිවේදනය නිකුත් කර දින දාහතර සම්පුර්ණ වන්නේ අද (16) දිනටය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා නායක කාර්යාලයේ නිලධාරියකුගෙන් අප කළ විමසුමකදී ඔහු පැවැසුවේ අවශ්‍ය උපදෙස් ලැබුණු වහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කිරිම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදෙන බවයි. පනත්  කෙටුම්පත පාර්ලිමේන්තු  න්‍යාය පුස්තකයට ඇතුළත් කිරිමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් එය පළමුවර කියැවීම සඳහා මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇත.


ඉන්පසුව පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යෑම සඳහා සතියක කාලයක් ලැබෙන අතර කිසිවකු හෝ පනතට විරුද්ධව අධිකරණයට ගියහොත් ඒ අධිකරණ  කටයුතු සඳහා ද තවත් සති තුනක කාලයක් ලබා දිය යුතුයි. පනත් කෙටුම්පත දෙවැනි වර කියවා සම්මත කරගත හැක්කේ ඉන් පසුවයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නම් අනිවාරේන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්ද ප්‍රමාණයක් හිමිවිය යුතුවෙයි.  පාර්ලිමේන්තුව මිළඟට රැස්වීමට නියමිතව ඇත්තේන්ද ලබන 22 වැනිදාය.

-නාලක සංජීව දහනායක-