මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු අට දෙනකු  ලග්ගල පොලිසිය විසින් ඊයේ (15) අලුයම 2.30ට පමණ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් බවත්, ඔවුන් සන්තකයේ තිබී රුපියල් විසිහතර
දහසකට වැඩි  මුදල් ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගත් බවත් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක පී.බී.ඒ. රණවීර මහතා පැවසීය.  අත්අඩංගුවට පත් එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 221ක ප්‍රමාණයක්ද සොයාගෙන  ඇතැයි පොලිසිය පවසයි.  හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල විල්ගමුව ආදි ප්‍රදේශවලට හෙරොයින් ගංජා බෙදාහැරිමේ ජාවාරමක නිරත  පුද්ගලයකු බව ද පොලිසිය ප්‍රකාශ  කරයි.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ දිනපතා රහසිගතව රාත්‍රී නවයේ සිට  අලුයම දක්වා ස්ථාන මාරු කරමින් මුදලට සූදු ක්‍රීඩාවේ යෙදෙන සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී තිබූ බවත් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රණවීර මහතාට පෙරේදා (14) රාත්‍රී 9.30ට පමණ ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සඳහා යෙදවූ බවත් පොලිසිය කියයි. ඒ අනුව අලුයම 2.30ට පමණ එහි  ගොස් වැටලීම සිදුකර පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද  පොලිසිය පවසයි.  ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පලා යෑම සඳහා සහ නඩු පැවරිමකින් තොරව මුදාහැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් කළ බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් සැමටම එක නීතිය  ක්‍රියාත්මක කිරිම යටතේ සියලු දෙනාටම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබාදෙන බවත්, එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග නවතා මහා පරිමාණයෙන් මෙම සුදු ක්‍රීඩාව පවත්වාගෙන යෑම නිසා ප්‍රදේශයේ බරපතළ ප්‍රශ්න රැසක් මතුවී තිබුණු බවත් පොලිසිය කියයි. ලග්ගල පොලිස් ස්ථානයේ ප්‍රධාන  පොලිස් පරික්ෂක පී.බී.ඒ. රණවීර මහතා ඇතුළු පිරිසක් පරික්ෂණ පවත්වති.


-කාංචන කුමාර-