නුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනය වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදු වී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවත් ඔහුගේ මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ පෙම්වතිය බවටත්
මේ වන විට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනුරාධපුර සිප්පිකුලමේ පිහිටි තැබෑරුමක් මිලදී ගැනීමට එස්.එෆ්. ලොක්කා දැඩි වෙහෙසක් ගෙන ඇති බවත් එම තැබෑරුම පරිපාලනය කර ඇත්තේ එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියගේ සැමියා බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. චූටි නැමැති එම පුද්ගලයා සමග හිතවත්කමක් ගොඩ නඟාගෙන ඇති එස්.එෆ්. ලොක්කා ඔහුව තමා වෙත නම්මවා ගෙන මත්කුඩු ජාවාරමට පොලඹවාගෙන ඇති බවත් පසුව ඔහුව මත්කුඩු සමග පොලීසියට හසුකර දී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.


චූටි නැමැත්තා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ බිරිඳ තමා වෙත ගෙන්වා ගෙන පෙම්වතිය ලෙස තබා ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එස්.එෆ්. ලොක්කා සැලසුම් සහගතව බන්ධනාගාරයට යැවූ චූටි නැමැත්තා මේ වන විට ඇප මත නිදහස්ව සිටින බවත් පසුගිය කාලය පුරාවටම ඔහු එස්.එෆ්. ලොක්කාට බියෙන් සැඟවී සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය හා මෙම සිදුවීම් අතර යම් සම්බන්ධයක් තිබේදැයි විමර්ශනය කෙරෙන බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කා වෙඩි ප්‍රහාරයට ලක්වූ දින වෙඩික්කරුවන් එස්.එෆ්. ලොක්කා පදිංචිව සිටි නිවස පිහිටි ප්‍රදේශයේ යතුරු පැදියෙන් සැරිසරා ඇති බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එදින එස්.එෆ්. ලොක්කා ශාරිරික අභ්‍යාස කිරීමට ගොස් සිටි ශරීර සුවතා මධ්‍යස්ථානය ඉදිරිපිටද වෙඩික්කරුවන් රැක සිට ඇති බවටද තොරතුරු විමර්ශකයන්ට ලැබී ඇත. එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන්නේ ශාරීර සුවතා මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේ සිට ඔහු ගමන් කළ මෝටර් රථය එම ස්ථානයේ සිටම හඹාගෙන ගොස් බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එස්.එෆ්. ලොක්කා කොළඹ මෝදර කිඹුලා ඇල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් මත්කුඩු ලබාගෙන ඒවා අලෙවිකර මුදල් ලබා නොදීමක් සම්බන්ධයෙන් ද ආරවුලක් තිබී ඇති බැවින් ඔහුගේ ඝාතනයට එම ආරවුල මුල්වී තිබේදැයි විමර්ශන පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

එස් එෆ් ලොක්කාගේ ඝාතනයෙන් පසු පෙම්වතිය වන අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි තිලිණි නදීෂා වීරසිංහ මෙසේ කියා තිබුණි.

‘‘අයියා රේල් ගේට්ටුව අසලදී කාර් එකේ වේගය අඩු කරනවාත් සමග එකවරම ඩෝං, ඩෝං ගාල ශබ්දයක් ඇසුණා. මම ඒ වෙලාවේ හිතුවේ රතිඤ්ඤා පත්තු වෙන හඬක් වෙන්න ඇති කියල. ඒ වෙලාවේ අයිය ඔලූව

කෙළින් කර වෙඩි තැබූ අය දෙස බැලූව. වෙඩි වැදුණට පසු විනාඩි පහක් විතර අයිය හොඳට හිටිය. පස්සේ තමයි අයිය රියැදුරු අසුණේ අනික් පැත්තට වැටුණේ...
මෑත කාලයේ අයිය කිසිඳු නරක වැඩක් කළේ නෑ. අතේ සල්ලි නැතත් එයා ණයවෙලා හරි හැමෝටම උදව් කළා. කොහෙන්ද ඔය හැටි වියදම් කරන්න සල්ලි කියල අයියා ගෙදර ආවම මම ඇහුවම, මැරිලා යන ටිකටනෙ අපි මේ හැමදේම කරන්නෙ. කොහෙන් හරි ඉල්ලා ගෙන තමයි මේ හැමදේම කරන්නෙ මැණිකේ කියල ඒ වෙලාවට කියනවා.
එයා වැරදි වැඩ නොකර හැමදේම අත්හැර බොරළු වළක් කපාගෙන පාඩුවේ ඉන්න හැදුවෙ. අයියා අනුරාධපුරේ ඉන්න ආසාවක් තිබුණෙ නෑ. උසාවි යන්න තියෙන නිසා අනුරාධපුරේට ආවේ. ඒ වගේම අනුරාධපුරේ ඉන්න බෑ. ජන්දය දාල යං කියලත් අයියා කිව්වා. එයා අවුරුදු දහයකින් ජන්දය දාල තිබ්බෙ නෑ. අවුරුදු දහයකට පසු මේ පාර ජන්දය දැම්මෙ. ජන්දය දාන්න ඕන හින්ද පෙරේදා  අනුරාධපුරේ නතර වී හිටියා’’

පෙර ලිපිය
මෑත කාලයේ එයා නරක වැඩ කළේ නැහැ ඒත් පොඩි සීන් එකක් තියනවා කියල මට කිව්වා - එස් එෆ් ලොක්කාගේ පෙම්වතිය නදීෂා