පත්තුවක ජංගම දුරකතන කැමරාවක් රැඳවිය හැකි ආකාරයට සකස් කර එහි දුරකතනය රඳවා කාන්තාවන්ගේ රහස්‍ය ප්‍රදේශ වීඩියෝ ගත කළ බව කියන තැපැල් ලියුම් බෙදන්නා 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 11 වැනිදා නියම කළේය.
මීරිගම, හකුරුකුඹුර ප්‍රදේශයේ පදිංචි
තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදන්නෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි. සැකකරු රාගම රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙසට ද මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ අධිකරණය එම වෛද්‍ය වාර්තාවද එදිනට (24) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කෙරුණි.

සැකකරු ගම්පහ දුම්රිය නැවතුම්පොළේදී පැළඳ සිටි සපත්තුවක ජංගම දුරකතන කැමරාවක් රඳවාගෙන කාන්තාවන් ආසන්නයට වී සිටින අයුරු දුම්රිය මගියෙකුගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. දුම්රිය මගීන් සැකකරු අල්ලාගෙන සපත්තුව තුළ රඳවා තිබූ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවන්ගේ රහස් අවයව සහිත වීඩියෝවක් තිබී ඇති අතර පසුව දුම්රිය මගීන් විසින් සැකකරු ජංගම දුරකතනයද සමඟ පොලිසියට බාරදුන් බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

සැකකරු කාන්තාවන් නාන අයුරු ඇතුළු කාන්තාවන්ගේ විවිධ ඉරියව් රහසිගතව කළ වීඩියෝ සහ ඡායාරුප සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතනයේ සටහන්ව ඇති හෙයින් සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සැකකරු මෙසේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියම කෙරුණි. ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතා සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බවට ද අධිකරණයේදී සඳහන් විය.

- ටෝනි කරුණානායක -