නියමිත උෂ්ණත්ව ප‍්‍රමාණය නොමැති පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පෙර්දා (12) අත්අඩංගුවට ගත් බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මතුගම අළුත්ගම මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික මුණසිංහ, මහතා සහ වැලිපැන්න ජී.ඩී. මධුෂාන්, ඕවිටිගල සජිත් ප්‍රසාත්, මීගමුව මිනෝද් මධුෂාන් යන මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

මෙම ලොරි රථයේ, අයිස් ක්‍රීම්, යෝගට්, යෝගට් පානය, මුදවන ලද මී කිරි ආදී ආහාර වර්ග 34 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 18 ට තිබිය යුතු ආහාර සෙල්සියස් අංශක ධන 08 හීද, සෙල්සියස් අංශක +04ට තිබිය යුතු ආහාර ධන 14 පැවති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුහ.

මෙම ආහාර තොගය වාරියපොල ප්‍රදේශයේ සිට කළුතර, අලුත්ගම, ගාල්ල වැලිගම, මාතර යන ප්‍රදේශවල ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරීමට රැගෙන යමින් තිබුණු බව ද, ලොරි රථයේ තිබිය යුතු අධිශීතකරණ වෙනුවට සාමාන්‍ය ශීතකරණ තුළ බහා තිබුණු බව ද මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික මුණසිංහ මහතා පැවසිය. එමෙන්ම නියමිත උෂ්ණත්වය නොමැති වීමෙන් මෙම ආහාර තුළ සෑදෙන බැක්ටීරියාවන් නිසා ඒවා පරිභෝජනය කරන අය විවිධ රෝගාබාධවලට ලක්වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චතුරිකා ගයත්‍රි මහත්මියගේ උපදෙස් මත මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. ඩී. ලයනල්, මහජන සෞඛ්‍යය පරික්ෂක රසික මුණසිංහ යන මහත්වරු වැඩිදුර පරික්ෂණ පවත්වති.

- ප්‍රේමතිලක පෙරමුණ -