හිටපු අමාත්‍යවරයකු වන රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් පත් කෙරෙනු ඇතැයි රජයේ  ආරංචි මාර්ග සඳහන් කරයි. සියඹලාපිටිය මහතා පසුගිය මහ මැතිවරණයේ දී
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණේ මනාප ඡන්ද එක් ලක්ෂ තුන් දහස් තුන්සියයක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයෙන් දෙවනුවට වැඩිම මනාප ගත් අපේක්ෂකයා වශයෙනි. ඔහු ඉකුත් යහපාලන රජයේ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය.  මේ අතර හිටපු අමාත්‍යවරයකු වන මහින්ද යාපා අබේවර්ධන මහතා නව වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත් කිරිමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ තමා කතානායකධුරය බාර ගැනීමට සූදානම් බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට ද මේ සතියේ සුදුස්සන් පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
නියෝජ්‍ය කතානායක ධූරයට පත්කිරීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නමද මින් ඉහත යෝජනා වුවද ඔහුට රාජ්‍ය ඇමති තනතුරක් මේවනවිට ලැබී ඇති නිසා වෙනත් අයෙකුට පැවරීම ගැන සලකා බලා තිබේ.