නව කොරෝනා වෛරසය ආසාදිතව සති  6කට ආසන්න කාලයක් වෙන්ටිලේටරයක් ආශ්‍රිතව කෘත්‍රිම ශ්වසනය ලබමින් සිටි 28 හැවිරිදි මයිරා රමිරෙස්ගේ තත්වය බරපතළ වූ බැවින්, අපගේ ජීවිතය බේරාගැනීමට ද්විත්ව පෙණහලු බද්ධක් සිදුකිරීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ තරුණ කාන්තාවක වූ ඇය,
පසුගිය අප්‍රේල් 26දා COVID-19 රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර,පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. ඇගේ තත්ත්වය දින්නෙන් දිනම නරක අතට හැරෙමින්, වෛරසය විසින් ඇගේ  පෙණහලුවලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකර තිබුණු බව වෛද්‍යවරු කීහ. මේ  තත්වය තුළ සති 6කට වඩා වැඩි කාලයක් ඇයට කෘත්‍රිම ශ්වසනය ලබාගැනීමට සිදුවිය.

අවසානයේදී ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා වූ එකම විකල්පය ද්විත්ව පෙණහලු බද්ධයක් සිදුකිරීම බව වෛද්‍යවරු තීරණය කළහ. ඒ අනුව පසුගිය ජුනි 5 වැනි දින චිකාගෝ හි වයඹදිග වෛද්‍ය සි විද්‍යායතනයේදී ඇයට ද්විත්ව පෙණහලු  බද්ධය සිදුකරනු ලැබුවේ ශල්‍ය වෛද්‍ය  අන්කිත් භාරත්ගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුවද දීර්ඝ කාලයක් රෝහල්ගතව සිටි ඇය, මේ වනවිට ක්‍රමයෙන්  සුව අතට පත්වෙමින් සිය නිවසේ විවේකීව සිටින අවස්ථාවේදී, නව කොරෝනා  වෛරසය බොරුවක් යැයි පවසමින්, මහජන සෞඛ්‍යාරක්ෂක ක්‍රම තඹයකට මායිම් නොකර හැසිරෙන බොහෝ ඇමෙරිකානු තාරුණ්‍යයට සහ ලොව පුරා වෙසෙන ජනතාවට පණිවුඩයක් ලබාදීමට ඇයට අවශ්‍ය විය.

"මම වෛරසය වැලදෙන අවස්ථාව වනවිට නිවසේ ඉඳන් රාජකාරී කරමින් හිටියේ. මම වරින් වර ඇවිදින්න එළියට ගියා. නමුත් ඒ කිසියම් හෝ අවස්ථාවක මගේ අතපසු වීමක් නිසා වෛරසය මට වැලදෙන්න ඇති බව මා හිතනවා.”රමිරෙස් කියා සිටියාය.

"මාව රෝහලට ගෙනගිය අවස්ථාවේදී මගේ දෙමවුපියන් ළඟ හිටියේ නැහැ. මට බොහොම ඉක්මනට අමාරු වුණා. හුස්ම ගැනීම අපහසු වුණා. මාව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන්න වුණා. නිවසේ අයට කතා කරන්න ලැබුණේ පුංචි වෙලාවයි. කෘත්‍රිම ශ්වසනය ලබමින් ගතකළ සති හයක කාලය නපුරු හීනයක් වගෙයි.” ඇය සිය අත්දැකීම් විස්තර කළාය.

"වෛරසය නිසා මගේ පෙණහලුවලට විශාල වශයෙන් හානි වී ඇති බව දැනගන්නට ලැබුණා. ඒ නිසා මගේ ශරීරයේ අනෙකුත් අවයවද විනාශ වීමේ අවදානමක තිබුණා. පෙණහලු බද්ධය හැර වෙනත් විකල්පයක් නැති වුණා. මා විඳි වේදනාව  වචනයෙන් විස්තර කළ නොහැකියි. මට ගොඩක් තිබහ දැනුණා. හුස්ම ගන්න  මම බොහෝ වීර්ය කළා. අවසානයේදී වෛද්‍යවරු ඒ සැත්කම සාර්ථකව සිදුකළා." ඇය තමා ගතකළ අසීරු කාලය සිහිපත් කළාය.

"ඇත්තටම මේ වෛරසය බොරුවක් නෙමෙයි, මෙය සැබෑවක්.” රමිරෙස් කියා සිටියාය. "මම එයට මුහුණ දුන්නා. බොහෝ පීඩාවන් වින්දා. ජීවිතයත් මරණයත් අතර සිටියා. තවමත් මට හුස්ම ගැනීමට අපහසුයි. මම මේ අලුත් පෙණහලුවලට  හුරු වෙමින් සිටිනවා. වේදනාව තවමත්  තියෙනවා. ඉතිං ඔබට මෙය සිදුවිය නොහැකි යැයි කියන්න පුළුවන් කාටද? ඒ නිසා හැකිතරම් පරිස්සම් වෙන්න. සෞඛ්‍ය අංශ ලබාදෙන නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න. මට පැවසීමට පුළුවන් එච්චරයි” ඇය වැඩිදුරටත් කියා සිටියාය. රම්රෙස්ගේ සැත්කම සිදුකළ ශල්‍ය වෛද්‍ය අන්කිත් භාරත් සඳහන් කළේ යම් ලෙසකින් ඇයට මෙම විශ්ව පෙණහලු බද්ධය සිදුකිරීමට නොහැකි වූයේ නම්, අද ඇය ජීවතුන් අතර නැති බවය.

-නරෙන් විශ්වජිත්-