බළලකුගේ ගෙලෙහි බැඳ බන්ධනාගාරයට එවීමට සුදානම් කර තිබු හෙරොයින් ඇතුළු තහනම් හාණ්ඩ බොරැල්ල පොලිසියට බාර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) වන්දන ඒකනායක මහතා ඊයේ (03) පැවසීය.



පටියක ආධාරයෙන් බළලාගේ ගෙලෙහි බැඳ තිබූ මෙම හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ සමග බළලා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු විසින් සොයාගනු ලැබුවේ ඉකුත් පළමු වැනිදාය. හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පහක ප්‍රමාණයක්, සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි පත් දෙකක් ඉටි කවරයක ඔතා බළලාගේ ගෙලෙහි බැඳ තිබිය දී මෙලෙස සොයාගෙන තිබේ.

මේ ආකාරයෙන් බළලකු උපයෝගී කර ගනිමින් බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට සැලැස්වූයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද මේ වන විට බන්ධනාගාරයෙන් ආරම්භ කර ඇතැයි ද සඳහන් වේ.

එම අදාළ නඩු භාණ්ඩ මේ වන විට බොරැල්ල පොලිසියට භාර දී ඇති අතර බළලා බන්ධනාගාර භූමිය තුළ නිරුපද්‍රිතව සිටින බව ද බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) වන්දන ඒකනායක මහතා පැවසීය.

(නිමන්ති රණසිංහ)