මෙවර මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අපේක්ෂකයන් ෆේස්බුක් සමාජජාලය සඳහා රුපියල් මිලියන 80කට වැඩි මුදලක් (ඩොලර් 436,739) වියදම් කර ඇතැයි ෆේස්බුක් ඇඩ් ලයිබ්‍රරී වාර්තා මගින් පෙන්වා දී තිබේ. මැතිවරණය ප්‍රචාරණ කටයුතු අවසන් වූ ඊයේ (03දා) දිනය වනවිට ෆේස්බුක් සමාජජාලය
තුළ දේශපාලනඥයන්ගේ නමින් ප්‍රසිද්ධ කර තිබූ දැන්වීම් ප්‍රමාණය26,710ක් වූ අතර, ඒ වෙනුවෙන් රුපියල් 80,796,715ක් මුදලක් ෆේස්බුක් සමාගම වෙත ගෙවා ඇති බව එම සමාගම නිකුත් කළ ෆේස්බුක් ඇඩ් ලයිබ්‍රරි වාර්තාවේ සඳහන් කර ඇත. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් වන දේශපාලනඥයන්ද මේ ආකාරයට ෆේස්බුක් තුළ දැන්වීම් පළ කර තිබේ. සාම්ප්‍රදායිකව වැඩි වශයෙන් මුදල් වියදම් කරන දේශපාලනඥයන් පිරිසම සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරණ කටයුතු  සිදුකරන බව මේ වනවිට නිරීක්ෂණය  වී ඇත.

මහ මැතිවරණයට අදාළ පැය 48ක නිහඩ කාලය මේ වනවිට ආරම්භ වී ඇති අතර, මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය වේ. මැතිවරණය නිරීක්ෂණ සංවිධාන විසින් මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එසේ වුවද මෙම කටයුතු නතර කිරීමට ශ්‍රී ලංකාව තුළ නීතිරීති නොමැතිකම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවටද ඒවා වැළැක්වීමට  හැකියාවක් නැතැයිද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. මේ අතර මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේදී එම මධ්‍යස්ථානය අනාවරණය කරගෙන ඇති, අපේක්ෂකයන් වියදම් කර ඇති  මුදල් ප්‍රමාණය 30%ක් පමණ වන බවයි.

ඒ අනුව ඔවුන් තවත් විශාල මුදල් ප්‍රමාණයක් මැතිවරණය වෙනුවෙන් වියදම් කර ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා සඳහන් කළේය. ෆේස්බුක් සමාජ ජාලය තුළ දේශපාලනඥයන්ගේ නමින් පළ කරන  දැන්වීම් සඳහා පමණක් වියදම් කළ මුදල් ප්‍රමාණය ඇඩ් ලයිබ්‍රරි මගින් සඳහන් කරන අතර, අනිකුත් ගිණුම් ඔස්සේ කරන දැන්වීම් වෙනුවෙන් අය කළ මුදල් පිළිබඳ සඳහන් නොකරයි. ඒ අනුව බලන කල ෆේස්බුක් දැන්වීම් සඳහා විවිධාකාරයෙන් ඉතා විශාල මුදලක් මෙරට දේශපාලනඥයන් වියදම් කර ඇති බවද අනාවරණය වේ.

-චාමර සම්පත්-