යාපනය සරසවියේ ඉංජිනේරු පීඨයේ ඉගැන්වීම් සිදු කරමින් සිටි 32 හැවිරිදි ගයාත්‍රී දිල්රුක්ෂි නමැති කථිකාචාරිනිය සිය සරසවි ඇදුරු නේවාසිකාගාරයේදී අලියෙකුගේ පහරදීමකට ලක්ව බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබූ අතර සති දෙකක් තිස්සේ ඇයගේ ජීවිතය බේරාගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක විය. ඇය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලේදී මියගියාය.
කැළණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ දිල්රුක්ෂි
පසුගිය ජූලි 19 වන දින මෙම අවාසනාවන්ත අනතුරට ලක්වූයේ කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටා තිබෙන යාපනය විශ්වවිද්‍යාලයේ අරිවියල්නගර් තාක්ෂණ පීඨ ඇදුරු නේවාසිකයට යාබද ස්ථානයකදීය. ඇය සිද්ධිය වූ දිනයේ සන්ධ්‍යා කාලයේ නේවාසිකයට ආසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්තානය වෙත ගොස් මිතුරුමිතුරියන් පිරිසක් සමග එහි පිරිසිඳු කිරීමේ කටයුතු සිදු කර තිබූ අතර අනතුරුව නැවත නේවාසික කාමරය වෙත ගමන් කරද්දී සන්ධ්‍යා අන්ධකාරය මැද අලියෙකුගේ පහරදීමට ලක්විය. ඇදුරු නේවාසිකය ආසන්න අක්කර 150 ක පමණ කැලෑවක් පවතින බවත්
එහි අලිඇතුන් නිතර ගැවසෙන බවත් පැවසිණි. ඇදුරු නේවාසිකය ආසන්නයේ මිනිස් වාසය පවතින නිසා අලි සැරිසැරීම අවම නමුත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කෘෂිකර්ම වගාබිමෙහි තිබෙන කජු  හා පැෂන් ෆෘට් ආහාරයට ගැනීමට මෙලෙස අලියෙකු පැමිණෙන්නට ඇති බව පැවසිණි.

දිල්රුක්ෂි ගොදුරු වූයේ එසේ පැමිණි වන අලියෙකුටය.
පහරදීම නිසා හිසට බරපතල හානි සිදුව තිබූ අතර ඇය දින 4 ක් පමණ යාපන රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබුණි. පසුව ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවන ලදි. එහිදී ශල්‍යකර්මයකටද ලක්විය.
සති දෙකකට පසු ඇය දිවියෙන් සමුගත්තාය.

වන අලි පහරදීම අවස්ථාවේ සිට මියයනතුරු ඇය සිහි විසඥව සිටියාය.ඇය ස්වසන උපකාරක සහිතව දිගටම ප්‍රතිකාර ගත් බවද රෝහල් ආරංචි හෙළි කර තිබේ.
සිදුවීමෙන් අනතුරුව සරසවි බලධාරීන්ගේ ඉල්ලීම මත ඇදුරු නේවාසිකය ඇතුළු සරසවි ගොඩනැගිලි පිහිටි අක්කර 400 පමණ වනය යාබද ඉඩම වටා විදුලි වැටක් සවිකරන්නට කටයුතු යොදා ඇති අතර සවස 6 න් පසු කලාපයේ ගමන් බිමන් යාම තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ මෙම ප්‍රදේශය වන අලින්ගේ අනතුරට ලක්වන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන නොතිබූ බවයි. නිරන්තර සෝදිසි කරන වනජීවී 'පෙට්‍රල් සේවය' ක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නමුත් මෙම සිදුවීම වනතුරු අලියෙකු එම ස්ථානයේ සැරිසැරූ බවට වාර්තා නොතිබූ බවයි.

කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වූ මියගිය දිල්රුක්ෂි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිනියකි.