වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ රෝහල් ගණනාවකට ඇතුළු වී එම රෝහල සායනවලට එන රෝගී කාන්තාවන් පරික්ෂා කර මුවාවෙන් ඔවුන්ගේ රන් ආභරණ සොරාගන්නා හොර වෛද්‍යවරයකු
ගාල්ල මූලස්ථාන පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෝමාගම ප්‍රදේශයේදී මෙම හොර වෛද්‍යවරයා පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වීමේදී බවද පොලිසිය කියයි. මෙම පුද්ගලයා ගාල්ල මහගෙදර, ගාල්ල ශික්ෂණ, මහනුවර ජාතික, කෑගල්ල, නුවරඑළිය,  රත්නපුර, පුත්තලම සහ ඇඹිලිපිටිය ඇතුළු  දිවයින පුරා පිහිටි රෝහල් 50ක පමණ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ඇති බව මෙතෙක් කරන ලද පරික්ෂණවලින් පෙනී ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.  මෙම හොර වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිකරගත් තොරතුරු අනුව ඔහු රෝගීන්ගෙන් ලක්ෂ 30ක පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් මහනුවර රජවීදියේ රන් භාණ්ඩ සාප්පුවකට උකස්කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර දෙවෙනි පියවරේ පදිංචිව සිටි 30 හැවිරිදි විවාහකයෙකි. මොහු අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති බවත් විවාහයෙන් පසුව සිය බිරිය සමග හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය කියයි.  ගාල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.ජී. ආනන්ද මහතාට ලැබුණු තොරතුරක ප්‍රතිඵලයක් වශයෙන් හෝමාගම ප්‍රදේශයේ නිවසක් පෙරේදා වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ සොරාගෙන යන රන් භාණ්ඩ උකස්කර ලාබ ගන්නා මුදල් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කැසිනෝ ක්‍රීඩාවේ යෙදවීමට හා ගණිකාවන් ඇසුරු කිරීමට වියදම් කර තිබෙන බව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් රෝහලට ඇතුළුවන මෙම සැකකාර පුද්ගලයා කිසිවකු නොමැති කාමරයකට ගොස් සායනවලට පැමිණ සිටින රෝගී කතුන් කැඳවා පරික්ෂා කරනු ලබන බව කියති. ගාල්ල ශික්ෂණ රෝහලට වරින්වර හොර රහසේ ඇතුළුවී ඇති සැකකරු රෝගී කාන්තාවන් අට දෙනකු සතු රන් භාණ්ඩ මේ ආකාරයට සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.  මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දිවයිනේ පිහිටි  සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දී ඇත. ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ විශේෂ උපදෙස් මත ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.ජී. ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂ්ණ පවත්වාගෙන යයි.

-ප්‍රසන්න ජයසුරිය-