මහමැතිවරණයේදී ජනතාව දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජනවරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති
කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (15) පැවැසීය. ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බව එම ජනවරමෙන් පැහැදිලි වන බව ද ඔහු කීවේය.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පෙරේදා (15) මේ බව සදහන් කළේය. එහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරිම සදහා සැලසුම් සේවයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බවය.

සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීමට කටයුතු කරන බවද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සංගමය වෙත දන්වා සිටියේය. එමෙන්ම රටේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ශ්‍රම බලකාය කළමනාකරණය කළ යුතු බව කී රාජපක්‍ෂ මහතා මෙරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරිමේදී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බවද පැවැසීය. සංවර්ධන ක්‍රියාවලිය යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොකර පුළුල් ජනතා සහභාගීත්වයක් සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතු බව පෙන්වාදුන් රාජපක්‍ෂ මහතා විවිධ රාජ්‍ය ආයතන එකතු කර දත්ත විශ්ලේෂණය කොට සැලසුම් සකස් කිරීමටත්, එම දත්ත එක් රැස්කොට වර්තමාන හා අනාගත අවශ්‍යතා සඳහා භාවිතාකළ හැකි පරිදි දත්ත සංරක්‍ෂණය කිරිමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳවද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයන් සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළට තම සංගමය දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවන බවය. ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරිමේ අවශ්‍යතාවද නියෝජිතයෝ මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කළහ.

- නාලක සංජීව -