සර 10කට අධික කාලයක් පොලිස් නිල සුනඛ අංශයට සේවය ලබාදුන් නිල සුනඛයන් 25 දෙනකු වෙන්දේසි කර විකිණීම මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථාන සංදර්ශන පිටියේදී ඉකුත් දා සිදු කෙරුණු අතර එහිදී පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සුනඛයකු වෙන්දේසි වූ ඉහළම මිල වාර්තාවීම විශේෂත්වයකි. මෙහිදී ලැබ්‍රඩෝර් වර්ගයට අයත් ‘බ්‍රිත්’ නමැති
පොලිස් නිල සුනඛයා වැඩිම මිල ගණනකට අලෙවි වූ අතර ගැනුම්කරුවෙක් විසින් රුපියල් 1,10,000ක මුදලකට එම  සුනඛයා මිලදී ගනු ලැබීය. මෙම සුනඛයා මිල දී ගනු ලැබුවේ මහනුවර පදිංචි හේමන්ත වෙඩික්කාර නමැත්තෙකි. මෙහිදී සුනඛයන් 25 දෙනාම වෙන්දේසියේ අලෙවි වූ අතර ත්‍රිකුණාමලය,

අනුරාධපුරය ආදී දුරබැහැර ප්‍රදේශවල සිට පවා සුනඛයන් මිලදී ගැනීමට පිරිස් පැමිණ සිටිනු දක්නට ලැබිණි. මෙරට සිදුවූ විවිධ අපරාධ, කොල්ලකෑම්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් හා මංමුලාවූවන්, පුපුරණ ද්‍රව්‍ය හා  මත්ද්‍රව්‍ය ආදිය සොයා ගැනීමට දායකත්වය දුන් සුනඛයන් මෙන්ම ජනාධිපති, අගමැති ප්‍රභූ ආරක්‍ෂක අංශයන්හි සේවය කළ සුනඛයෝ ද එහිදී වෙන්දේසි කරනු ලැබූහ.

පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ පරීක්‍ෂණ කටයුතු සඳහා සහය දැක්වූ 'රෙජී' නමැති පොලිස් නිල සුනඛයා ද මෙහිදී පෞද්ගලික ගැනුම්කරුවකුට විකුණා ඇත.  'බ්‍රිත්' නමැති පොලිස් නිල සුනඛයා රුපියල් 1,10,000 ක මුදලකට මිල දී ගත් මහනුවර පදීංචි හේමන්ත වෙඩික්කාර මහතා එම සත්ත්වයා සුරතල් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

පසෙකින් සිටින්නේ එම සුනඛයාගේ රාජකාරී දිවියේ පොලිස් භාරකරුවාය.. මෙම සුනඛයකු නඩත්තු කිරිම සඳහා දිනකට රුපියල් 600ක පමණ මුදලක් වැය  වනබව පොලිස් නිල සුලබ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බ්‍රිත් නමැති නිල සුනඛයා මිලදී ගත් හේමන්ත වෙඩික්කාර මහතා පැවසුවේ තම කුඩා දරුවන්ගේ ආරක්‍ෂවටත්, සතුන්ට ආදරය කිරීමට දරුවන්ට පුහුණු කරවීමටත් මෙම සුනඛයා මිලදී ගත් බවයි.  දරුවන්ගේ කැමැත්ත අනුව මෙම ආකාරයේ පුහුණුවක් සහ විනයක් ඇති සත්වයකු මිලදී ගත් බවත්, මීට පෙර ද තමන් සතුව ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනකු සිටි නමුත් ඔවුන් මේ වන විට මියගොස් ඇති බවත් ඔහු පැවසීය.

-ජේ.එ.එල්.ජයසිංහ-