එදා සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ පොහොට්ටුවට වෙන්න බැරි නෑ. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරමු" යැයි වනජීවී රැකවරණ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිමේ හා වන සම්පත් සංවර්ධනය  අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
නව අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පෙරේදා (15) පදියතලාව නගරයේ සංවිධාන කර තිබූ  උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා,

" මට ලැබුණු අමාත්‍ය ධුරය පිළිබද ගැටලු නැතුව නොවෙයි. ඒත් ඒ ගැන කතා නොකර සිටිමු. කැබිනට් ඇමතිවරුත් එක්ක සණ්ඩු සරුවල් වෙන්න වෙයි. එතකොට වැඩ කරන්න බැරි වෙනවා. කලකිරීමක් තියනවා. සහෝදර ඇමතිවරු මට කිව්වා අයියා උබ කලබල වෙන්න එපා අපි උදව් කරන්නම් වැඩකරගෙන යමු කියලා. සෑම ජයග්‍රහණයක් එක්කම පරාජයක් තියනවා. ඒ නිසා ඉවසීමෙන්, පරිස්සමින්, කල්පනාවෙන් කටයුතු කරමු. රැකියා නිවාස, ජල, මාර්ග, රෝහල් ප්‍රශ්න අවුරුදු ගානක් තිස්සේ ගොඩ ගැහිලා.

මේවට දවස් 2-3 විසදුම් දෙන්න බෑ. පියවරින් පියවර ඉදිරියට යමු. අද අපිට චීනෙන්, ජපානෙන්, ඇමෙරිකාවෙන් උදව් ඉල්ලන්න බෑ. කොරෝනා නිසා එයාලගේ ආර්ථිකත් කඩා වැටිලා. අපිට බඩු යවන්නත් බෑ ගේන්නත් බෑ. අපිත් ලොකු හිරවීමක ඉන්නේ. නොමිලේ පොහොර, පොත් ටික, බෙහෙත්, ලබන මාසේ ඉදන් රැකියා 150,000කුත් දෙන්න ඕන. හෙමින් ගමනක් තමයි යන්න වෙන්නේ දේව බලයක්වත් නෑනේ. ඒ නිසා අමාරුවෙන් රට ඇඳගෙන යන්න වෙනවා. කොරෝනා නිසා සංචාරක ව්‍යාපාරය ඇඳ වැටුණා. විදේශ රැකියා අහිමි වෙලා.

ජනාධිපතිතුමා ගැන විශ්වාසයත් මට දුන්නේ ගැටලුවක්. වනජීවින් ආරක්ෂා කරන්නත් ඕන.මිනිස්සු ආරක්ෂා කරන්නත් වෙනවා. කොරෝනාවලටත් වඩා ලොකුම ගැටලුව තමයි අලි - මිනිස් ගැටුම. ජනාධිපතිතුමා මේ ගැටලුවට කාර්ය සාධන බළකායකුත් පිහිටෙව්වා. විසඳුම් නොදුන්නොත් රට ඉදිරියට යන්නේ නෑ.

රැකියා හොයාගෙන හට අනිද්දම එන්න එපා. වනජිවී, ජලසම්පාදන, සමෘද්ධි ඇමතිවරු මට උදව් කරනවා කිව්වා. ඒ අයගෙන් උදව් ඉල්ලගෙන පදියතලාවට රැකියා 300ක් ඉදිරියේදී ලබා දෙනවා. බැරි වෙනවා නම් ඒකත් මම කියක්නම්, පදියතලාවේ වතුර ගැටලුවට විසදුම් දෙන්න ජලය තියන තැන් හොයන්න වෙනවා. හදිසියෙන් නම් බෑ. අපි මොනවද කරේ කියල සමහරු අහනවා. මම අන්තිමදවස් ටිකත් පදියතලාවට ලක්ෂ 14කට වඩා වැඩ කළා. පහුගිය මන්ත්‍රී ධුර කාලයේ නොකරපු දෙයක් නෑ. සමහරුන්ට මේවා අමතකයි." යැයිද පවසා සිටියේය.  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(පදියතලාව - සී.වී.කුමාර)