වේයන්ගොඩ - මෙල්ලැහැව මහා මාර්ගයේ වේයන්ගොඩ කොට්ටලදී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් වෙලකට පෙරළීමෙන් මියගිය එකම පවුලේ මව සහ දරු දෙදෙනා පිළිබඳව වතුපිටිවල රජයේ මූලික රෝහලේ ඉකුත්දා (13 වැනිදා) දහවල් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට දිවිබේරාගත් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන යක්කල, සියනෑ උයනේ නෙල්සන් හතුරුසිංහ
යන තිදරු පියා සාක්කි ලබාදී තිබේ.
 'මම නාවික හමුදාවේ සේවය කර 2019 වර්ෂයේදී විශ්‍රාම ගත්තා. මම දැනට ව්‍යාපාර කරගෙන සිටිනවා. මියගිය සමුදිකා කුමාරි මගේ බිරිය සමග හිතවත්කමින් සිටියා.  සමුදිකා නංගී නිතරම අපේ ගෙදරට එනවා.අපිත් සමුදිකා කුමාරි නංගිලාගේ නිවසට යනවා. සමුදිකා කුමාරි එයාගේ සැමියා සහ දරු දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටියා.


මෙම අනතුර සිදුවීමට කලින් දවසේ සමුදිකා නංගී දුරකතනයෙන් කතාකර එයාගේ මව අසනීපවී සිටින බවද මව බලන කුලියාපිටියේ මවගේ නිවෙසට යන බව කීවා. මගේ බිරිඳට අයත් ත්‍රීවීල් රථයෙන් කුලියාපිටියට යමුද කියලා සමුදිකා නංගී ඇසුවා. ඒකට මමයි මගේ බිරිඳයි එකග වුණා.

මෙම අනතුර සිදුවූ 12 වැනිදා දහවල් 1.30 ට පමණ මමයි මගේ බිරියයි සමුදිකා කුමාරි  නංගියි එයාගේ දරුවෝ දෙන්නයි කුලියාපිටිය බලා යාමට සමුදිකා නංගීගේ නිවෙසින් පිටත් වුණා.  මම ත්‍රීරෝද රථය පදවාගෙන වේයන්ගොඩ දක්වා පැමිණියා. මට ත්‍රීරෝද රථ පැදවීමේ බලපත්‍රයක් නොමැති නිසා ත්‍රීරෝද රථය පදවාගෙන යන්න සමුදිකා කුමාරි නංගිට දුන්නා. ඉන්පසු සමුදිකා නංගී ත්‍රීරෝද රථය වේයන්ගොඩ සිට පදවාගෙන ගියා. සමුදිකා නංගී රථය පදවාගෙන යනවිට රථය එක්වරම පාරේ පැත්තකට යන්න පටන් ගත්තා. මම රථයේ “ක්ලච්" එක තදකර අල්ලා රථය නවත්වා ගන්න උත්සාහ කළත් රථය නවත්වාගන්න බැරිවුණා.
ත්‍රීරෝද රථය වෙළකට පෙරළිලා මඩ ගොඩක නැවතුණා.

 රථයේ සිටි ළමයි දෙන්නා උස්සලා අරගෙන ඒ අසල පාරේ සිටි අම්මා කෙනකුට බාර දුන්නා. මියගිය සමුදිකා නංගීත් රථයෙන් එළියට අරගෙන පාරට ගෙනැවිත් තිබ්බා. සමුදිකා නංගීත් එයාගේ දරුවන් දෙදෙනාත් වාහනයකින් රෝහලකට රැගෙන ගොස් තිබුණා. මම මගේ බිරියත් සමග වතුපිටිවල රෝහලට යාමට පාරේ එනවිට පැමිණි ගිලන් රථයකින් අපි දෙදෙනා රෝහලට ගෙනාවා. සමුදිකා නංගීත් දරු දෙදෙනාත් මියගොස් ඇති බව මම රෝහලේදී දැනගත්තා.

මෙම අනතුරින් යක්කල, පිටුවල්ගොඩ බැබිලහේනවත්තේ තාවකාලිකව පදිංචිව සිටි ඇගලුම් සේවිකාවක වන පී.ඒ. සමුද්‍රිකා කුමාරී සිරිවර්ධන (40) නමැති මව සහ තිනෙත් රවිෂාන් (9) හා උදාන් රෂ්මික (මාස 16යි) නමැති දරු දෙදෙනා මිය ගියහ.
 තිනෙත් රවිෂාන් යක්කල චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති ශිෂ්‍යයෙකි.


 හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් බියගම ආචාරිගේ ධම්මික ප්‍රසන්න (34) නමැති අය මෙසේ පැවසීය.
මෙම අනතුරින් මියගොස් සිටින සමුදිකා කුමාරී සිරිවර්ධන සමග 2015 වසරේ සිට පවුල් ජීවිතයක් ගත කරමින් සිටියා. මෙම අනතුර සිදුවූ 12 වැනිදා උදේ මම වැඩට යාමට පෙර සමුදිකා එයාගේ මව්පියන් බැලීමට කුලියාපිටියේ ඔහුගේ නිවසට යන බව මට පැවසුවා. මෙදින දහවල් 2.30ට පමණ සමුදිකා මට දුරකතනයෙන් කතාකර උපේක්ෂා නංගීත් ඇයගේ සැමියාත් එක්ක උපේක්ෂා නංගීගේ ත්‍රීරෝද රථයෙන් කුලියාපිටියට යන බව පැවසුවා.

එදින පස්වරු 3.15 ට පමණ අනතුර සිදුවූ ස්ථානයේ සිට නාඳුනන පුද්ගලයෙක් මගේ බිරියගේ දුරකතනයෙන් මට ඇමතුමක් දී ත්‍රීරෝද රථයක් පෙරදී එහි සිටි පිරිස තුවාල ලබා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවද, ඇමතුමක් දී ලබාදෙන දුරකතනය ත්‍රීරෝද රථයේ ගමන් කළ කෙනෙකුගේ බවද පැවසුවා. මම පස්වරු 3.40ට පමණ වතුපිටිවල රෝහලට පැමිණියා. සමුදිකාත් දරු දෙදෙනාත් රිය අනතුරින් මියගොස් ඇති බව මම රෝහලේදී දැනගත්තා. මේ මරණ පිළිබඳව මට සැකයක් නැහැ. රිය අනතුරක් නිසා මෙම තිදෙනා මියගිය බව මා විශ්වාස කරනවා. මියගිය දෙදරු මවගේ පියාවන කුලියාපිටිය, අඹගහලන්දේ පතම්බර ආරච්චිලාන්ගේ සිරිවර්ධන (68) ද මෙහිදී සාක්කි දුන්නේය.

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.එල්.එම්.එස්. පෙරේරා සහ එහි අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.පී.පී. ගුණවර්ධන යන මහත්වරු මේ පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරික්ෂණ පැවැත්වූහ.

තිදෙනාම මියගොස් ඇත්තේ රිය අනතුරක් නිසා තිදෙනාගේම මොළවලට සිදුවී ඇති හානි හේතුවෙන් බව වෛද්‍ය වාර්තාවලින් හෙළිවිය. ඉදිරිපත්වූ සාක්කි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක අල්හාජ් එම්.ජේ.එම්. අබ්ඳුල්කාදර් මහතා තිදෙනාම මියගොස් ඇත්තේ රිය අනතුරක් නිසා ලත් තුවාල හේතුවෙන් බවට නිගමනය කළේය.

අත්තනගල්ල මීවල කොට්ඨාසයේ හදිසි  මරණ පරීක්ෂක අබ්දුල් එම්.ජේ.එම්. අබඳුල් කාදර් මහතා විසින් මෙම හදිසි මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.
වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.කේ.එස්. ජයතිලක මහතාගේ උපදෙස් මත එහි සැරයන් (4113) ඩී.ආර්.එම්. බණ්ඩාර මහතා හදිසි මරණ පරික්ෂණයේ සාක්කි මෙහෙයවීය.

(වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)