කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම නිසා රාජාංගණ ප්‍රදේශයේ 12,000ක පමණ පිරිසක් හුදෙකලා කර ඇතැයි සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවැසිය.
මෙසේ හුදෙකලා කර ඇත්තේ රාජාංගනය යාය 1, යාය 3 හා යාය 5 කලාපවල ජීවත්වන
දොළොස් දහසක් යැයි කී සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා එම ප්‍රදේශය මේ වනවිට පවතින්නේ 'ලොක්ඩවුන්' තත්වයකැයිද ප්‍රකාශ කළේය. එසේ නොකර වයිරසය පාලනය කළ නොහැකි යැයිද ඔහු කීය. රාජාංගණය ප්‍රදේශයේ හාරසියයකට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කන්දකාඩු පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 532කි.
රාජංගණය ප්‍රදේශයේ පී.සී.ආර්. පරික්ෂණ වැඩි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පෙරේදා (14) උපදෙස් දුන්නේය.  මේ අතර කොරෝනා ආසාදිතයන් තවත් 13 දෙනකු සම්පුර්ණයෙන්ම සුවය ලබා ඊයේ (15) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


සුජිත් හේවාජුලිගේ