ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නිර්මාතෘ මොහාමඩ් සහරාන් හෂිම් නොව මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින නවුෆර් මවුලවි නමැත්තා බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවැසීය.  ජාතික තවුහිද් ජමාද් සංවිධාංනයේ න්‍යායාචාර්යවරයා වශයෙන් කටයුතු කළ නවුෆර් මවුලවි නමැත්තා
වසර 19ක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයකු බවත් ඔහු ජාත්‍යන්තර සබඳතාව පවත්වාගෙන ගිය අයකු බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය සාක්ෂියෙන් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස 22 වැනිඳා ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදීම මෙම නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්  බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය. පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට පසු දින දඹුල්ල හබරණ ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි නවුෆර් මවුලවි නමැත්තා දඹුල්ල පොලිසිය විසින් අන්දඅඩංගුවට ගනු ලැබූ අතර පසුව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය. ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී දිවයිනේ ස්ථාන 8කට ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් කරගෙන සිටියත් ස්ථාන 6ක් පමණක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සාක්ෂිය දෙමින් සිය ප්‍රකාශ කළේය.

මොවුන් විදේශ ආධාර ලබමින් පල්ලි ඉදිකළත් බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී ගිණුම්වල රුපියල් 50,000ක්වත් නොමැති බවත් ඔවුන් ඉදිකරන ගොඩනැගිලි රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුක්ත ඒවා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.  මෙම මුදල් ලැබෙන ආකාරය ඉතාමත් ගැටලු සහගත තත්ත්ව යක් බවත් පිටකොටුව ප්‍රදේශයේ මුදල් හුවමාරුව වෙත ගොස් නිරීක්සණය කළහොත් ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. කාත්තන්කුඩි ප්‍රදේශයේ වූ සිද්ධියෙන් පසු මොහොමඩ් සහරාන් හෂීම් අධිකරණය මගහැර විදේශගතව සිටි බවට ප්‍රචාරයක් සිදු කළ ද වර්ෂ 2017න් පසු අවස්ථා කිහිපයකදීම සහරාන් නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ සැගවී සිටින බව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී තමන් ප්‍රධානීන් දැනුවත් කළ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

සරාන් හෂීම් ඇතුළු කණ්ඩායම දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක යම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන්ගේ අනුගාමිකයන් අභිප්‍රේරණය කරන බවට පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිඳුවීමට මාස 6කට සහ මාස 10කට පෙර ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ලිපි මගින් දැනුවත් කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් පැවැසීය.  මාවනැල්ල බුදුපිළිම සිද්ධිය මෙන්ම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු බුද්ධි අංශයක් දැනුවත්ව නොසිටි බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමේ කොමසාරිස්වරුන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසීය. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අබ්ඳුල් සාදික්, අබ්ඳුල් ෂයිඩ් නමැති හක් සහෝදරයෝ දෙදෙනා අයි.එස්. සංවිධානයේ පුහුණුවක් සඳහා 2014 දී තුර්කියට ගොස් පුහුණුවීම්  සිදුකර පැමිණ ඇති දෙදෙනකු බවට ද තමන් තොරතුරු අනාවරණය කරගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂි දෙමින් සඳහන් කළේය. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බදියුදීන් මොහොමඩ් මොහිදීන් නොහොත් ආමි මොහිදීන් නමැත්තා මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි කුගන් නමැත්තාගෙන් ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ලබාගත් බවට ද තොරතුරු අනාවරණය කරගත් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යප පොලිස්පතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින්  පැවැසීය.

මෙම ආමී මොහිදීන් නමැත්තා සහ සහරාන්  හෂීම්ගේ සොහොයුරු රිල්වාන් යන අය වරෙන්තුකරුවන් දෙදෙනකු බවත් ආමි මොහිදීන් නමැත්තා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්න ද ඔවුන් එම තැනැත්තා අත්අඩංගුවට නොගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව මෙම ආමි  මොහිදීන් යන අය අත්අඩංගුවට ගෙන මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින බවත් මොහු කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරුකරුවකු නොවූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය සාක්ෂිය දෙමින් පැවැසීය.
(නිමන්ති රණසිංහ)