කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට
ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරින්ට නියෝග කරන ලෙසත් ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරික්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන හෙයින්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ නීතිය ක්‍රියාත්මක කරතැයි වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.

 නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ එම රිට් පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

 කුරුණෑගල නගර මධ්‍යයේ දෙවැනි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පිහිටා තිබූ අතර එය පුරාවස්තුවක්
ලෙස නම් කරනු ලැබ තිබිණි. වර්ෂ 1293 සහ වර්ෂ 1302 අතර කාල සීමාව තුළ ඉදි කළ බව කියන දෙවැනි බුවනෙකබාහු රජුන්ගේ මෙම රාජසභා මණ්ඩපය ඉකුත් 14 වැනිදා ද කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන්
පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල
විණි.

 මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් ද පත් කරනු
ලැබීය. මෙම රාජසහා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරා විද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිය දී එය කඩා ඉවත් කිරීමෙන් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇත. මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව පෙත්සම්කරු ඉකුත් 23 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත.

පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටී.

(රංජන් කටුගම්පොළ)