කෝවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සුපිරි තරු අමිතාබ් බච්චන් දැනට රෝහල තුළ ප්‍රතිකාර ලබාගනිමින් සිටියි. ඔහුගේ පුතා වන නළු අභිෂේක් බච්චන්ද මෙම වෛරසය සමඟ තරඟ වදිමින් සිටින අතර ඔහුවද අමිතාබ් බච්චන් සිටින රෝහලටම ඇතුළත් කර තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගැනුණ අභිෂේක්ගේ බිරිඳ අයිශ්වර්යා රායි බච්චන්ට සහ
ඔවුන්ගේ දියණිය ආරධ්‍යාට මින් දින 2 කට පෙර වෛරසය සෘණාත්මක වී ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වූ පසුව රෝහලෙන් පිට වීමට හැකි විය. මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ කිරීමට අමිතාබ් බච්චන් ප්‍රමාද නොවීය. අයිශ්වර්යා සහ ආරධ්‍යාගේ ඡායාරූපයකුත් බෙදාගත් ඔහු පැවසුවේ ඔහුට තම දෑසට නැඟි සතුටු කඳුළු පාලනය කරගැනීමට නොහැකි වූ බවය.
හැඬීමෙන් වළකින ලෙසත් ඔහුටද ඉක්මනින් රෝහලෙන් පිට වීමට හැකි වන බවත් ආරධ්‍යා තමාට පැවසූ අයුරුද සඳුදා රාත්‍රියේදී අමිතාබ් තැබූ ‍බ්ලොග් සටහනක සඳහන් විය. ඇය පැවසූ දෙය තමා විශ්වාස කළ යුතු බව ඔහු පවසයි. මේ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පත් වී ඔහු වෛසරයෙන් මිය යා යුතු බව බලාපොරොත්තු වන පුද්ගලයන්ද සිටින බව ඔහු සඳහන් කළේය.
අයිශ්වර්යාගේ සහ ආරධ්‍යාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඊයේ දිනයේදී අභිෂේක්ද ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මගින් සියල්ලන්ටම දැනුම් දී තිබේ. “ඔවුන් වෙනුවෙන් ඔබ කළ ශුභ ප්‍රාර්ථනාවලට ස්තුතියි. ඒ සියල්ලට සදා ණයගැතියි. අයිශ්වර්යා සහ ආරධ්‍යාගේ වෛද්‍ය වාර්තා සෘණාත්මක වී තිබේ. එම නිසා දැන් ඔවුන්ට රෝහලෙන් පිටව යෑමට අවස්ථාව උදා වී ඇති අතර නිවසට පැමිණේවි. තවම මා සහ මගේ පියා රෝහල්ගතව සිටිනවා.”
(“ටයිම්ස් ඔ‍ෆ් ඉන්ඩියා” ඇසුරිනි)
එස්. දහනායක