ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය රාගම මහ රෝහලේ දී සාර්ථකව නිම කිරීමට හැකිවූ බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා දන්වා සිටී. නව හැවිරිදි එස්. කිෂාණු  නමැති දියණියට
ඇයගේ මව
විසින් ලබාදුන් අග්න්‍යාශ කොටසක් සාර්ථකව මෙලෙස බද්ධ කිරීමෙන් පසු කිෂාණු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.ඇය යාපනය මුලායි ප්‍රදේශයේ පදිංචි දැරියකි.

රාගම වෛද්‍ය පීඨය හා  උතුරු කොළඹ ශික්ෂණ  රෝහල ඒකාබද්ධව 2011 දී  ආරම්භ කෙරුණු අක්මා බද්ධ ශල්‍ය ඒකකය තුළ මේ වනවිට සාර්ථක අක්මා බද්ධ 50ක් සිදු කර තිබෙන අතර ළමා අක්මා බද්ධයක් මුල්වරට සිදු කළේ මෙවර බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පවසයි.
මවගේ අක්මාවෙන් 35%ක කොටසක් කිෂාණු දියණියට ලබා දී ඇති අතර මෙවැනි ආකාරයේ අක්මා බද්ධයක් ඉන්දියාවේ රෝහලක සිදු කිරීමට රුපියල් මිලියන 15ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය ලංකාවේ දී මෙම  ශල්‍යකර්මය සම්පුර්ණයෙන්ම නොමිලයේ සිදු කිරීමට හැකිවීම ගැන සතුටු වන බව ද පැවසුවාය.
(ජාඇළ ප්‍රසංග පෙරේරා)