ළුතර දෙදියවල ශ‍්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ විසූ රුපියල් හතළිස්පන්දාහක් වටිනා මාස 05 ක් වයසැති බලූ පැටවෙකු සොරකම් කළ බව කියන තරුණයකු මෙම මස 14 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.


මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම වූයේ කළුතර දෙදියවල පදිංචි කලාචාරිගේ රසික කුමාර නම් වූ අයටය.
විහාරස්ථානයේ සිටි බලූ පැටියා සොරකම් කර ඇති බවට විහාරාධිපති පූජ්‍ය මිද්දෙනියේ සීලවංශ හිමියන් විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුගේ නිවසේ කූඩුවක දමා සිටි බලූ පැටවාද පොලිස් භාරයට ගෙන තිබුණි.

 මෙම බලූ පැටවා විහාරස්ථානයෙන් සොරකම් නොකළ බවත් පාරේ සිටියදී අල්ලාගෙන ගොස් ඇති බවත් කියමින් අධිකරණයට කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංඛ අල්මේදා මහතා සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 පොලිසිය ඉදිරිපත් කළ කරුණු අනුව එම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරන ලදි.

 උතුරු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිල්වා මහතා විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විජයසිරි විද්‍යාසේකර