මොණරාගල බඩල්කුඹුර, ගල්ලඹ පිරිවෙන්නේ හාමුදුරුවරු හතළිස් පස්දෙනෙකු  ඇතුළු හැත්තෑ දෙදෙනෙක් එම පිරිවෙන්  පරිශ්‍රය තුළම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව ඌව ආණ්ඩුකාර රාජා  කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්
ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබළෙකු සහභාගී වූ ආගමික වැඩසටහනකදී මෙම පිරිවෙන්නේ කුඩා හිමිනමක් සහ තවත් හිමිනමක් මෙම සෙබළා සමග මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා එම සාමණේර හිමිනම ඉගෙනුම ලබන පිරිවෙන්නේ ඉගෙනුම ලබන ශිෂ්‍ය හිමිවරු ඇතුළු හිමිවරුන්ගේ ආරක්ෂාව සඳහා මෙසේ ස්වයං නිරෝධායනයට පියවර ගත් බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.පී.ඩී.කේ අධිකාරී මහතා පැවසීය. එම පින්කමට සහභාගී වූ ගිහි පිරිසක්ද මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

පස්සර, පරගහමංකඩ පදිංචි මෙම යුද හමුදා සෙබළා පස්සර, වැල්ගොල්ලේ පිහිටි සිය මහගෙදරට ගොස් තිබේ. ස්වයං නිරෝධායනයට ලක්වූ අය අතර එම පවුලේ අයද සිටින බව සඳහන් විය. ඔහු පොදු බස්රථයකින් ගොස් මුතියංගණ විහාරස්ථානය වන්දනාමාන කර ඇති බවද, රථවාහන බලපත්‍රයක් ලබාගැනීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ ඇති බවද හෙළිවී තිබේ. එම තොරතුරු ඔස්සේද විමර්ශන සිදුකරන බව සෞඛ්‍ය බලධා පැවසූහ. කන්දකාඩුවේ සිට පැමිණි තවත් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු කතරගම ගෙස්ට් හවුස් දෙකක නතර වී කතරගම වන්දනාවේ යෙදී ඇති බවත් අනාවරණය විය. එම ගෙස්ට් හවුස් දෙක වසා දමා කාර්යමණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කළ බවද මෙහිදී අනාවරණය කෙරීණි. මොනරාගල තේවතුර ගමේ කුඩා දරුවෙක්ද, සියඹලාණ්ඩුව, වැල්ලවාය හා මැදගම යන ප්‍රදේශවල කීපදෙනෙක්ද ස්වයං නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ බවත්, සියලු පී.සී.ආර්. පරීක්ෂණවලින් තුනක් හැර සෙසු සියල්ල යහපත් තත්ත්වයක පවතින බවද පැවසීය.

එම තුන්දෙනා යළි පී.සී.ආර් පරික්ෂාවට ලක් කර ඇති බවද මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.පී.ඩී.කේ අධිකාරී මහතා මෙහිදී පැවසීය. පස්සර, පරමංකඩ යුද හමුදා සෙබළාට අමතරව කන්දකාඩුවේ සිට පැමිණි බදුල්ල- කැන්දගොල්ල හා මහියංගණය -සොරබොර පදිංචි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුගේ පවුල්වල අය ඇතුළු ආශ්‍රිතයන් 40 දෙනෙක් පමණ ආරක්ෂිත පියවරක් ලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. කෙසේ නමුත් මේ දක්වා බරපතළ තත්ත්වයක් හඳුනාගෙන නැති නමුත්, ආරක්ෂක පියවරක් ලෙස හඳුනාගත් සියලු ආශ්‍රිතයන් සඳහා දියත් කළ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ඉදිරිපත් ක්‍රියාත්මක කිර්මට සෞඛ්‍ය බලධාරීහු තීරණය කර තිබේ.

මුඛ ආවරණ පැලඳීම පිළිබඳව පොලීසිය විසින් ජනතාව දැනුවත් කිරීමට  පියවර ගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. පෙ.ව. 7.00 සිට 10.00 දක්වාත්, ප.ව. 4.00 සිට 6.00 දක්වාත් කාලය තුළ මුව ආවරණ නොපලඳින අය සොයා මෙහෙයුම්  දියත්කරන බවද හෙතෙම සඳහන් කළේය. මුව ආවරණ නොපලඳින අයට උපදෙස් දීම හා අවවාද කිරිම සිදුකරන අතර, ඒවා නොසලකා හරින අය පොලීසියට ගෙන්වා වෛද්‍ය කණ්ඩායමක සහභාගීත්වයෙන් උපදෙස් පන්ති පැවැත්වීමට කටයුතු කරන බවද පැවසීය. නිරෝධායන පනත තුළ  මුව ආවරණ නොපලඳින අයට හා පුද්ගල  දුරස්ථභාවය තබා නොගන්නා අය පිළිබඳව කටයුතු කිරීමට නියෝග ලැබී නැති බවද  කරවිට මහතා අවධාරණය කළේය. ප්‍රසිද්ධ ස්ථානවල සිදුකරන විෂබීජහරණ දියර ඉසීම ඵල රහිත දෙයක් බවත්, ඒ පිළිබඳව ගැටලු ඇති බවත් සෞඛ්‍ය බලධාරීහූ මෙහිදී පෙන්වා දුන්හහ.


-පාලිත ආරියවංශ-