සුගියදා මාධ්‍ය අවධානය දිනාගනිමින් සිදුවූ ව්‍යාපාරික ඝාතනය ගැන දැන් තවදුරටත් තොරතුරු අනාවරණයවී ඇත. පිළියන්දල කැස්බෑව මාවිත්තර ප්‍රදේශයේ මංගල උත්සව හා ප්‍රියසම්භාෂණ පැවැත්වීම නිසා ප්‍රකටවූ 'දසුන' හෝටලයේ අධිපති සාගර කුමාර (51) නමැති විවාහක ව්‍යාපාරික දෙදරු පියා ඝාතනය කර තිබුනේ සිය පවුල සමග නිදාගෙන සිටියදී නිදන ඇඳේදීය.
සොරකමකට ආ පිරිසක් සිදු කළ ඝාතනයක් ලෙස හඟවන්නට උත්සාහ ගෙන තිබූ
මෙම ඝාතන සිද්ධිය එලෙස සිදුවූවක් නොවන බවට සැකසහිත නිරීක්ෂණ පොලිසියට ලැබී තිබුණි. නිවසේ අල්මාරි අවුස්සා තිබීම හා ඝාතනය කරන්නට උපයෝගී කරගත් බව හඟවන්නට කුඩා පොලු කැබැල්ලක් ඉතිරිකරයාම වැනි සාධක කිහිපයක් නිරීක්ෂණය වූ අතර ව්‍යාපාරිකයාගේ බිරිය සිද්ධිය අවස්ථාවේ හැසිරුණ ආකාරය ගැනද සැකසහිත ලක්ෂණ පෙන්නුම් කර තිබුණි. පවුල් ආරවුල් නිසා ආසන්න කාලයේ පිළියන්දල පොලිසියේ අවස්ථා දෙකකදී පැමිණිලි කර තිබූ නිසා මෙම ඝාතනයට බිරියගේ අනුදැනුමක් තිබේද යන්න ගැන පොලිසියට සාධාරණ සැකයක්ද මතුවිය.

මේ අතර කණ්ඩායම් හතරක් යොදාගෙන මෙම ඝාතනය ගැන පොලිස් විමර්ශන සිදුවෙද්දී
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැකකරන යකඩ පොල්ල මාවිත්තර වෙල්යායේ එක්තැනක මඩේ ඔබා තිබියදී පෙරේදා (15) සොයාගත් බව ගල්කිස්ස පොලිසිය වාර්තා කර තිබේ.
මීට ඉහත ඝාතනය සිදුවූ හෝටලයට යාබද පාරේ නිවෙස්වල සීසීටීවී පරීක්ෂාවට පොලිසිය කටයුතු කළ අතර එහිදී සැකකටයුතු දෙදෙනෙකු සිද්ධිය සිදුවූවායැයි සැක වේලාව තුළ මුහුණු සඟවමින් පාරේ ගමන් කරන අයුරුද එක් අයෙකුගේ පිටේ ගමන් මල්ලක් තිබෙන අයුරුද නිරීක්ෂණය වී තිබුණි.

එසේම සැක සහිත කිසියම් දෙයක් වෙල් යාය දෙසට විසිකරන අයුරුද නිරීක්ෂණය වී තිබුණි. මේ සම්බන්ධ මුලදී සිදුකළ සොයාබැලීම්වලදී වෙල්යායෙන් කිසිවක් හමුව තිබුනේ නැති නමුත් ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැකකරන යකඩ පොල්ල මාවිත්තර වෙල්යායේ එක්තැනක මඩේ ඔබා තිබියදී හමුවිය. කිසියම් පුද්ගලයකු හෝ කිහිප දෙනෙක් පැමිණ හිසට එල්ල කරන ලද පහරවල් කිහිපයක් හේතුවෙන් ඔහු ඝාතනයට ලක්වී තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.

ඉකුත් 06 වැනි දින සිදුවූ ඝාතනයෙන් පසු සුළු තුවාල ලද ව්‍යාපාරික බිරිය රෝහල්ගතවූ අතර ඇය ඇය පෙරේදා (15) රෝහලින් පිටවී නිවසට ගිය බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනය වූ දින අලුයම මාවිත්තර, පිටිහේන කැස්බෑව අතුරු මාර්ගය ඔස්සේ පුද්ගලයන් දෙදෙනෙක් කඩිනම් ගමනින් පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශනයන් ඔස්සේ තවදුරටත් කළ විමර්ශන අනුව එම පුද්ගලයන් දෙදෙනාම කොට්ටාව නගරයට ත්‍රී රෝද රථයකින් පැමිණෙන අයුරු දැක්වෙන තවත් සීසීටීවී දර්ශන සොයාගෙන ඇත.
ඊට අමතරව දුරකථන සමාගම් දෙකක් මාර්ගයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමෙන් පසු කෝටිපති ව්‍යාපාරික අයතනයේ වැදගත් තොරතුරු රැසක්ද අනාවරණය වෙමින් පවතින බව පොලිසිය සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පවත්වති.