සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ගෝලයකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන හෝමාගම පොට්ට කපිල නමැත්තා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් රියැදුරකුගේ නිවසේ තිබී ටී-56 ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති
බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

එම ගිනි අවි දෙක ද සමඟ අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී කිරිවත්තුඩුව ප්‍රදේශයේ වැව් සොරොව්වක සඟවා තිබූ ටී-56 උණ්ඩ 750ක් ද සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොට්ට කපිල නමැත්තා ඉකුත් 28 දින විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහුට අයත් ගිනි අවි දෙකක් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් භටයකුගේ නිවසේ ඇති බවට කළ ප්‍රකාශයකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඉකුත් (10) දින රාත්‍රියේ හෝමාගම පිටිපන උතුර, මහින්ද මාවතේ පදිංචි සැකකාර පොලිස් කොස්තාපල්ගේ නිවස පරික්ෂා කිරීමේදී එහි සඟවා ඇති මෙම ගිනි අවි සොයාගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සිද්ධිය සම්බන්ධයතේ අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් මෙම ගිනි අවිවලට යොදන ටී-56 උණ්ඩ 750 සොයාගෙන තිබිණි.

සැකකාර පොලිස් කොස්තාපල් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ එක්ව අපරාධ ක්‍රියාකාරකම් සිදුකළේ ද යන්න හෙළි කරගැනීම සඳහා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉකුත් 28 වැනිදා පිටිපන දකුණ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් පොට්ට කපිල නමැත්තා අත්අඩංගුවට ගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

පොට්ට කපිල නමැති සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහුට අයත් ටී-56 ගිනි අවි දෙකක් ඉහත පොලිස් කොස්තාපල්ගේ නිවසේ සඟවා ඇති බවට හෙළි වූ තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් (10) දින රාත්‍රියේ සැකකාර කොස්තාපල්වරයාගේ පිටිපන උතුර නිවසට ගොස් එම අවි අත්අඩංගුවට ගෙන තිබිණ.

පොට්ට කපිල නමැත්තා ඉකුත් 28 වැනිදා විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් විසින්ම අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට අයත් ටී-56 ගිනි අවි 11ක්, ටී-81 වර්ගයේ ගිනි අවියක් හෝමාගම පිටිපන උතුර පිහිටි ව්‍යාපාරික ස්ථානායක සගවා තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගිනි අවිය සමඟ අත්අඩඩංගුවට ගත් එම ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවගේ හෝමාගම නිවසේ හා පිටිපන පිහිටි ව්‍යාපාරිකයාට අයත් වෙනත් නිවසක තිබී ටී-56 ගිනි අවී, වායු රයිෆල්, පිස්තෝල, පුපුරණ ද්‍රව්‍ය හා උණ්ඩ රැසක් ද පසුව සොයා ගැනීමට හැකි විය.

පොට්ට කපිල නමැති මෙම සැකකරු පිස්තෝල ගිනි අවි 10ක් සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව එම ගිනි අවි ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

- ඉන්දිකා රාමනායක -