පොල්පිතිගම කනපද්දන් වැවේ ගල් තලාවක් මත සිටියදී වැවට වැටුණු පියා බේරා ගැනීමට ගිය 18 හැවිරිදි පුතා සහ ඔහුගේ 16 හැවිරිදි ඥාතී සොහොයුරියක දියේ ගිලී පෙරේදා 15 මියගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.  මෙම පවුලේ ඥාතීන් පිරිස අනුරාධපුර බලා යාමට සුදානමින් ගණේමුල්ලේ සිට පැමිණ ඇත.  ඥාතීන් සමඟ ගල්පොත්තේ පදිංචිව සිටි මධුරංගගේ පවුලේ අය
පොල්පිතිගම කනපද්දන් වැවේ දිය නෑමට ගොස් ඇති බවත් එම පිරිස වැවේ ගලක් මත සිටියදී මියගිය මධුරංග සිසුවාගේ පියා පය ලිස්සා වැවට වැටී ඇති බවත් පොලිසිය පවසයි. පියා බේරා ගැනීමට මධුරංග වැවට පැන ඇති අතර ඔහු දියේ ගිලෙද්දී ඕෂණි ඩිලේකා සහ ඇගේ මවද ඔවුන් බේරා ගැනීමට පැන ඇතැයි පොලිසිය කියයි.


වැවට පැන්න තිදෙනා හා වැවට වැටුණු මධුරංගගේ පියා වැවේ ගිලෙද්දී ඒ අසල සිටි පිරිස පැමිණ මුලින්ම වතුරට වැටුණ මධුරංගගේ පියා සහ පසුව පැන්න ඩිලේකාගේ මව බේරාගෙන ඇතත් මධුරංග සහ ඩිලේකා සොයා ගැනීමට නොහැකිවී ඇතැයි පවසන පොලිසිය පසුව එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු දිය යට තිබී සිරුරු සොයාගෙන පොල්පිතිගම රෝහලට ද එතැනින් කුරුණෑගල රෝහලට රැගෙන ගොස් ඇති බව කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලව හිරිපිටිය ගල්පොත්තේ ජේ.එම්. චමුදු මධුරංග දිල්ෂාන් (18) සහ ගණේමුල්ල බොල්ලතේ පදිංචි එන්. ඕෂණි ඩිලේකා (16) නමැති ඥාති සොහොයුරියක බව පොලිසිය කියයි.

මධුරංග සිසුවා කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටියේය. මියගිය ඕෂණි ඩිලේකා ගණේමුල්ල ගලහිටියාව මැදි විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව පවුලේ ඥාතීහු පවසති.

මියගිය ඩිලේකාගේ අත්අම්මා (පියාගේ මව) බැලීම සඳහා පවුලේ අය සමග පොල්පිතිගම මල්අස්න ප්‍රදේශයට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි ද පොලිසිය කියයි.

ඉහළ ඕතොටමුල්ල හදිසි මරණ පරීක්ෂක ටී.ඩී.එස්. රුවන්සිරි මහතා හා පොල්පිතිගම පොලිසියේ සැරයන් (55169) ටී.යු.ආර්. මුතුබණ්ඩා යන මහත්වරු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි. පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

- සිසිර නන්දන -