කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරි සඳහා නොගෙන්වන පෞද්ගලික අංශ සේවකයන්ට වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක්  ගෙවීමට හාම්පුතුන්ගේ සංගම් සමග ඇතිකරගත් එකඟතාව සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

පෞද්ගලික අංශයේ සේවකයන්, හාම්පුතුන්, වෘත්තීය සමිති සමග සාකච්ඡා කර කොරෝනා තත්ත්වය හේතුවෙන් රැකියාවට නොපැමිණෙන අයට වැටුපෙන් සියයට 50ක් හෝ මසකට 14,500ක් ගෙවීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එකඟතාවක් ඇතිකරගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (16)  පැවසීය.

මෙම එකඟතාව ජූලි මාසයෙන් අවසන් වූ අතර  එය සැප්තැම්බර් මාසය දක්වාම දීර්ඝ කිරීමට විදේශ සබඳතා, රැකී රක්‍ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

 කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සමහර ආයතනවලට තවමත් කැඳවන්නේ සේකයින්ගෙන් කොටසක් පමණක් බැවින් නොකැඳවන සේවකයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද  ඇමතිවරයා කීවේය.

ඒ අනුව එම සේවකයන්ට වැටුපෙන් සියයට 50ක් හෝ  රුපියල් 14,500ක් යන කොන්දේසිය අනුව වැඩිම  මුදලක් ලැබෙන ගෙවීම හිමිවනු ඇතැයි  අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(ඩයනා උදයංගනී)