මව සමඟ මීගලෑව කලංකුට්ටිය ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය අවුරුදු තුනහමාරක සිඟිතිය අසල්වාසීන් විසින් බේරාගනු ලැබ තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.
මීගලෑව, බණ්ඩාරගම, ලීකොළවැව පදිංචිව සිටි ඩී.එම්. නෙත්මි කාවින්ධ්‍යා දිසානායක නමැති දැරිය මෙසේ මියගොස් ඇත.

ලීකොළවැව ගමට පහළින් ගලා බසින කලංකුට්ටිය ඔයට දිය නෑමට මව හා මේ දියණිය පෙරේදා පස්වරුවේ ගොස් ඇති බවත් මව රෙදි සෝදා අවසන් කර දියණියත් සමඟ නාමින් සිටියදී වතුර යටින් පැමිණි කිඹුලෙකු දැරිය ඩැහැගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව මීගලෑව පොලිසිය කියයි.

දැරිය ඩැහැගෙන යාමත් සමඟ මව කෑ ගසා ඇති බවත්, ඒ ආසන්නයේ ඔයේ එහා ඉවුරේ පිහිටි නීරාවිය රජයේ ගොවිපොළේ සේවකයෙකු ඇතුළු පිරිසක් පැමිණ දැරිවිය බේරාගෙන ඇති බවත් පොලිසිය කියයි.

අනතුරට පත් දැරිය තඹුත්තේගම මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසා ඇති බවත් පොලිසිය කීය.

දැරිය හා මව දිය නෑ ස්ථානයේ අඩි දෙක-තුනක් ගැඹුරට ජලය පවතින බවත් ඊට ආසන්නයේම ගැඹුරු දිය වළක් පවතින බවත් ගම්වැසියෝ කියති. දැරිය ඩැහැගත් කිඹුලා ඔයේ අඩි 10-15 ක් පමණ දුරකට ඇය ඇදගෙන ගොස් ඇති බවත් ඒ ස්ථානයේ ඔය ඉවුරේ කිඹුල් ගුහාවක් තිබෙන බවත් ගම්වැසියෝ කීහ.

කිඹුලා ඩැහැගෙන යාම නිසා දැරියගේ පපුව, කළවා හා පිටකොන්ද ප්‍රදේශවල බාහිර තුවාල දක්නට තිබූ බවත් ගම්වැසියෝ කියති. දැරිය බේරා ගන්නා විටත් කිඹුලා ඇය අල්ලාගෙන සිටි බවද ඔවුහු පැවසූහ. මීගලෑව වන ජීවී කාර්යාලයේ ප්‍රධානි අයි.එම්.ජී. සෙනවිරත්න මහතා ඇතුළු ඒ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා මීගලෑව පොලිසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය දැන ගත් අවස්ථාවේම එහි ගොස් පරීක්ෂණ පැවැත්වූ අතර කිඹුලා අල්ලා වෙනත් ජලාශයකට මුදාහැරීමට කටයුතු කරන බව සෙනවිරත්න මහතා පැවසීය.

මීගලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්.සී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.

- නිහාල් ජයවීර -