පිළියන්දල ප්‍රදේශයේ පිහිටා ඇති 'දසුන' නමැති මංගල උත්සව ප්‍රිය සම්භාෂණ සඳහා ප්‍රකට හෝටලයේ හිමිකරු එම හෝටලය තුළදී ඊයේ රාත්‍රී ඝාතනය කර ඇති බව වාර්තාවේ. ඔහුට කිසියම් පිරිසක් හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇතැයි වාර්තාවන අතර මියගිය තැනැත්තා නිදන ඇඳ මත හිසේ පසුපස තුවාල සහිතව
සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියේදී ඔහු සමග සිටි ඔහුගේ බිරියටද තුවාල සිදුව ඇති අතර ඇයව මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මංගල උත්සව ප්‍රිය සම්භාෂණ පැවැත්වීම පිණිස වැඩි වශයෙන් යොදාගන්නා 'දසුන' නමැති තෙමහල් හෝටලය පිළියන්දල කැස්බෑව ගුරුගම්මාන පාරේ පිහිටා තිබේ.
මියගිය අය සමග ඝාතනයට පැමිණි පිරිස කිසියම් ව්‍යාපාරික ආරවුලක් පැවතියේද යන්න හා ඒ හේතුවෙන් ඝාතනය සිදුකරාද යන්න ගැන සැක මතුව තිබෙන අතර සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරු අවුරුදු 50 දෙදරු පියෙකි.කැස්බෑව මහේස්ත්‍රාත් වරයා මූලිකත්වයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදු විය.
පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.