කුඩා දරුවන් විසිදෙනකුට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින නිරන්ත එදිරිසිංහ නමැති පෞද්ගලික උපකාරක පන්ති ඉංග්‍රීසි ගුරුවරයා පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළිකරගන්නට හැකිව තිබේ. මෙම ගුරුවරයා ළමුන් අපයෝජන කර එම අවස්ථා වීඩියෝ කර විශාල මුදලක් ඉපැයීම පිණිස ඕස්ට්‍රේලියාවේ ලිංගික ඩිජිටල් පට නිර්මාණයේ නිරත ආයතනයකට
එම වීඩියෝ කොටස් යොමු කරමින් සිටි බව හෙළිව ඇත.
පොලිසිය සිදු කළ පරීක්ෂාවේදී මෙම ගුරුවරයාගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබි දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී බවට සැකකරන තැටි 130ක් හා දරුවන්ගේ යට ඇඳුම් 25ක් පමණ විමර්ශනවලදී සොයාගෙන ඇති බවද අනාවරණය විය. ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

මේ සියලු සීඩී තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු මෙම විඩියෝ පට පිටරටවලට යැවීමට සුදානම් කර තබන්නට ඇති බවට සැකකරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

වීඩියෝ කොටස් අපනයන ජාවාරම ඔහු සිදු කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බවටද දැන් හෙළිවී ඇත.
ඔහුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.
මෙම සිදුවීමෙන් පසු ඔහු විදේශගතවී ඇති අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා සහ ගුරුවරයා දීර්ඝ කාලීන මිතුරන් වෙති.
මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත‍්‍රපට ආකාරයට රූගත කිරීම් සිදුකර ඇති අතර එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින Pedophilia හෙවත් කුඩා දරුවන් කෙරෙහි දක්වන විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගන්නා බවට තොරතුරු හෙළි විය.
මෙම ජාවාරම සඳහා ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයාද මොහුට සහාය දී තිබේ.

සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරිමක් සිදුකර නොමැති බවත් ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයකු බවට ද මේ වනවිට තොරතුරු හෙළි ව ඇත.


දැනට සිදුකළ විමර්ශන අනුව මොහු දරුවන් විසි දෙනකුට අධික පිරිසක් අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් දරුවන් සියලුදෙනා වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන්නන් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉංග්‍රීසි උගන්වන මුවාවෙන් සැකකරු මෙලෙස දරුවන් අපයෝජනය කර ඇති බව ද කියති.  සැකකරු ඉංග්‍රීසි ගුරුවරයකුට අමතරව රියැලිටි වේදිකා පසුතල නිර්මාණ ශිල්පියකු වශයෙන්ද කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරක්ත මහතා හා මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශිකා වරුණි බෝගහවත්ත මහත්මිය සිදුකළ පරීක්ෂණයේ දී මෙම සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකරු ඉකුත්දා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
ළමා අපයෝජන සිදු කළැයි ඉංග්‍රීසි ගුරු රියැලිටි පසුතල නිර්මාණකරු අත්අඩංගුවට