මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරිම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බැවින් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට සි. සි.ටී.වී කැමරා සවිකරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.
ප්‍රතිඵල ගණන් කිරීම දිනක් ප්‍රමාදවීම නිසා මනාප ප්‍රතිඵල විකෘතිවීමේ අවදානමක් ඇති බැවින් හා, එක් අයෙකුගේ මනාප තවත් අයකුට දමා ගණන් කිරීම වැනි ක්‍රියා අතීතයේදී ද සිදුවූ බැවින් එවැන්නක්වීම වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නීතිඥ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාගේ අස්සනින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ වෙල්ලාල බන්දුල මහතා පැවසුවේ මෙවර මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියාවල කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි.
2001 මහ මැතිවරණයේදී මරණ 81 ක් හා 2015 දී මරණ 4 ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළේය.
මෙවර මැතිවරණ ප්‍රතිඵලය ද ඉතා සාධාරණ අයුරින් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වඩාත් තහවුරු කිරීමට නම් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළයුතු බවයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොහොට්ටුව ලකුණ නියෝජනය කරමින් යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පමණක් ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පැවසුවේ ඒවාට යන්නේ කවුරුන්ද යන්න මේ වනවිට සාකච්ඡා වෙමින් තිබෙන බවයි.

මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයන්ට අපහාස කරන අයට මැතිවරණයේදී ඡන්දදායකයන් පිළිතුරු දෙනු ඇතැයි ද හෙතෙම කීවේය.

(ඩයනා උදයංගනී)