බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ‘රියැලිටි’ වැඩසටහන් පසුතල නිර්මාණකරුවකු මෙන්ම ඉංග්‍රීසි ගුරුවරයකුද වන සැකකරුවකු
අගෝස්තු මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (26දා) නියෝග කළේය.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඉහත කී පුද්ගලයා ඉතා උපක්‍රමශීලීව බාලවයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන කටයුතු සඳහා යොදවාගෙන එම සිද්ධීන් වීඩියෝ ගත කර විදේශ රටවලට අලෙවි කර මුදල් ලබාගන්නා බවට බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් ප්‍රකාශ මත ඔහුගේ නිවෙස පරික්ෂා කිරීමේදී ඉහත කී දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි 135ක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,
මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙකී සැකකාර පුද්ගලයා කොළඹ අවට විවිධ ප්‍රදේශවල ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වාගෙන ගොස්
ඇති බවත් ඊට අමතරව ඔහු එම දරුවන් ඔහුගේ නිවෙස වෙත ගෙන්වාගෙන ඉගැන්වීම් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් එවැනි අවස්ථාවලදී සැකකාර පුද්ගලයා ඉතා උපක්‍රමශීලීව එම පන්ති සඳහා සහභාගි වූ වයස 10 හා 12 අතර පසුවන බාලවයස්කාර පිරිමි දරුවන්ට ඉතා සූක්ෂ්ම අන්දමින් මෙකී අපයෝජන සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
මෙම සැකකාර පුද්ගලයා විවාහකයකු බවත් බිරියගෙන් වෙන්ව ජීවත් වන අයකු බවද පොලිසිය පවසයි.
මෙම දරුවන්ව අපයෝජන කටයුතුවලට ගැනීම සඳහා උපක්‍රමශීලී පියවරක් වශයෙන් ඔහු එම දරුවන්ට තෑගි බෝග පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වන බවද අපයෝජනයට ලක්වූ දරුවන් දෙදෙනකු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත එම පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත හා කාන්තා පොලිස් කොස්තාපල් කුමාරි යන අය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වති.

කුමුදු උපුල් ශාන්ත, එම්.සී. පෙරේරා