මිගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි ඇතුළු නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 07 ක කාලයක් ගතවුවන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා හමුවේ පොලිසියේ ක්‍රියා කලාපය ඊයේ (29) දැඩිලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර දින 7ක කාලයක් ගතවී ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් කටයුතු කර ඇතැයි ද සල්ලි තියෙන අයට එක නීතියකුත්, සල්ලි නැති අයට එක නීතියකුත් තියෙනවා කියා මිනිසුන් කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඩුබායි සිටි මධුෂ් නමැත්තා ද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙන ඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටින මෙම සැකකරුවන් සිවුදෙනාට අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87,000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකිරීමේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙය නීතියේ මළගමදැයි සැකයක් මතුවන්නේ යැයි ද කියමින්, නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ නමැත්තාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කර ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියම කළේය.

බන්ධනාගාරගත සිරකරුවන් හා රැඳවියන් සමග එක්ව මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, බන්ධනාගාරගත රැඳවියන්ට තහනම් භාණ්ඩ ලබාදීම, කුෂ්ඨ ලේඛන සකස් කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු  වශයෙන් කටයුතු කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නැමැත්තා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අවස්ථාවේ දී ඊයේ (29) පෙරවරුවේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවූ මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තා ද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියේ සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස මීට දින  7 කට ඉහත දී නියම කර ඇතත් ඔවුන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැතැයි පෙන්වා දුන්නේය. සැකකරුවන් සිවුදෙනාගෙන් එක් අයකු පොලිසියටත් දෙදෙනකු අධිකරණයටත් බාරවී ඇතැයි ද මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පායෝ නමැත්තා ලබන සිකුරාදා වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පෞද්ගලිකව අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා නොතීසි ලබාගැනීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දූෂිත බන්ධනාගාර නිලධාරින් හා එක්ව පොලිසිය සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේදැයි මෙමට ක්‍රියාකලාපයෙන් සැකයක් මතුවන්නේ යැයි ද කීය.

තිඥවරුන් මාරගයෙන් අධිකරණයට බාරවූ මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තන් මාවතගම හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අත්දෙක සාක්කුවට දාගෙන විසිල් පාරක් ගහගෙන ඇවිත් විත්තිකුඩුවට ගොඩවෙනතුරු ඔවුන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවී නැති බවත් මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පාසෝ නමැත්තා අළුත්කඩේට පැමිණ දිවුරුම් දී පෙත්සමකට අස්සන් කොට ගොස් ඇතත් ඔහු ද අල්ලා ගැනීමට පොලිසියට හැකි වී නැති බවත් කී දිලීප පිරිස් මහතා එවැනි තත්ත්වයක් තිබිය දී සම්පායෝ නමැත්තා ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් මෙම අධිකරණයට ගෙන්වා ඇත්තේ ඔහුගේ බලපරාක්‍රමය පෙන්වීමටදැයි ප්‍රශ්න කළේය.

දූෂිත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා යම් යම් නියෝග නිකුත් කළත්, ඔවුන්ට අත්අඩංගුවට පත්නොවී සැඟවී සිටීමට හෝ නීතියෙන් ගැලවී යා හැකිවන අන්දමට පොලිසිය කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද ඩුබායි සිටි මධුෂ් නමැත්තා ද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙන ඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65,000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටින මෙම සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87,000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයි ද කී දිලීප පීරිස් මහතා සල්ලි තියෙන අයට එක නීතියකුත්, සල්ලි නැති අයට එක නීතියකුත් තියෙනවා කියා මිනිසුන්  කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

පොලිස් ආඥා පනත අනුව හා අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරින්ට එරෙහිව කටයුතු කිරිමට හැකියාව ඇති බවත්, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත්තේ පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ දැවෙන බියසුළුකම යටතේ නම් බියසුළු පොලිස් නිලධාරියාගේ මාස 12 කට සරිලන වැටුප ද අයකර මාස 12ක සිරදඬුවමක් ද ලබාදිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ධනවත් අයට එක නීතියකුත් දුප්පතුන්ට තව නීතියකුත් ක්‍රියාවේ යෙදවීමට පොලිස්පතිවරයා ප්‍රමුබ පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කළහොත් එය නීතියේ ආධිපත්‍යයේ මළගම බවත් සමහර නිලධාරින් එයට අධිකරණයත් පාර්ශ්වකරුවන් කරගැනීමට උත්සාහ කරන්නේ යැයි ද කීය.

මෙහෙම ගියොත් සාමාන්‍ය මිනිසුන් කැති පොලු අරගෙන 'කැලේ නීතිය' හදන්නත් ඉන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටත් උත්සාහ කරන කාලය වැඩි ඈතක නොවේ යැයි ද අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එයට පොලිසියේ මෙම ක්‍රියාකලාපය වගකිව යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.  ආණ්ඩුවේ බෝඩිම වශයෙන් ජනතාව හඳුන්වන බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් රජයේ ආරක්ෂාව මධ්‍යයේ සිට රජයේ වියදමින් ලබාදෙන ආහාර ගෙන ඒ තුළ සිට ජනාධිපතිවරයාට, ආරක්‍ෂක ලේකම්වරයාට, බන්ධනාගාර අධිකාරි උඩුවර මහතා ඇතුළු  නීතිගරුක නිලධාරීන්ට තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ද අපරාධකරුවන් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා උදව් උපකාර මත විස්කි බිබී, ගංජා උරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යන අන්දමක් පෙනෙන්නට ඇතැයි ද පැවැසීය.

පොලිස් නිලධාරින්, බන්ධනාගාර නිලධාරින් මෙන්ම නිල ඇඳුමක් අඳින සියලු දෙනාම එම නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කිරිමට කටයුතු නොකළහොත් රට අරාජික වන්නේ යැයි ද මීගමුව බන්ධනාගාරයේ සිටි නිලධාරිගේ දූෂිතභාවය පෙන්වා දීමට ඇති හොඳම සාක්කිය වන්නේ එම බන්ධනාගාරයේ නියාමකවරයකු පොලිසියට ප්‍රකාශයක් දෙමින් තමන්ගේ රැකියාව ආරක්‍ෂ කර ගන්න මසකට රුපියල් ලක්‍ෂයක කප්පමක් බන්ධනාගාර අධිකාරිවරයාට ගෙවීමට සිදුවී ඇති බවට කළ ප්‍රකාශය යැයි ද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර අධිකාරිවරයා වක්කම් සොයාගත් ආකාරය සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ද කීය. අපරාධකරුවන් සහ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් නිලධාරින් එක්වී අපරාධවලින් මුදල් ඉපැයීම සඳහා සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මෙම අපරාධයට සම්බන්ධ නිලධාරින් එම සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වන්නේ යැයි ද කී දිලීප පීරිස් මහතා මේ තත්වය මත මෙම විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තූව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයා මෙම අධිකරණයේ පෙනී සිට මෙම විමර්ශනයට අදාළ ප්‍රගතිය වාර්තා කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්මත් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවල අඩංගු කරුණු වැරදි ලෙස වටහාගෙන බවත් කෙසේ නමුත් තම සේවාදායකයන් මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ යළි අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුරට යැවිය යුතු යැයි කීය.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මස 04 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

තොරතුරු- මනෝප්‍රිය ගුණසේකර