මෙවර මහ මැතිවරණය සඳහා, වියත් මග සංවිධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන්නේ ඉතා සීමිත පිරිසක් බව මැතිවරණ මන්ත්‍රී අපේක්ෂක නාලක ගොඩහේවා මහතා පවසනවා. බොහෝ දෙනෙකු තමන් වියත්මග සංවිධානය නියෝජනය කරන බව
ප්‍රකාශ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන නමුත්, ඔවුන් වියත් මගට සම්බන්ධ පුද්ගලයන් නොවන බව ගොඩහේවා මහතා අවධාරණය කරයි.

නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයට තරග කරන එකම වියත් මග නියෝජනය ඕෂධී හේවාමද්දුමගේ මහත්මිය බවයි. වෙනත් කිසිවෙකුත් වියත්මග නියෝජනය කරමින් බදුල්ලෙන් තරග නොකරන බවත්, එවැනි පුද්ගලයන් පිළිබඳව තම සංවිධානයට කිසිදු වගකීමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් වියත් මග සංවිධානයේ නිළ ෆේස්බුක් පිටුවේ මීට පෙර සඳහන් කර තිබුණේ එම සංවිධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් 09 දෙනෙකු පමණක් බවයි. ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙකු ජාතික ලැයිස්තුව නියෝජනය කරන බවත් එහි සඳහන් විය. විශේෂත්වය වන්නේ එම එකොළොස් දෙනා අතර ඕෂධී හේවාමද්දුමගේ මහත්මියගේ නම සඳහන් නොවීමයි.
 බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා  ප්‍රකාශ කළේ ඇයට නාමයෝජනා ලැබී තිබෙන්නේ නාමයෝජනා මණ්ඩලයේ බූරුවන් විසින් බවයි.