රුපියල් කෝටි ගණන් වටිනා  ඉඩම්වලට හොර ඔප්පු සකස් කර එම ඉඩම් විකිණීම හෝ බැකුවලට උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරම් සිදු කරන පාතාල කල්ලියක ප්‍රබලයකු සමග සමීප සම්බන්ධකම් ඇති බව කියන පුද්ගලයකු ඇතුළු හතර දෙනෙක්
ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ඉඩම් ඔප්පු තොගයක් සමග මහරගම ප්‍රදේශයේදී ඊයේ (30)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.  මහරගම පීටර් සමරතුංග මාවතේ නිවසක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද එම බළකාය සඳහන් කරයි.


සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනාගේ එක්අයකු පාතාල කල්ලි ප්‍රබලයෙක් ලෙස සැලකෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ගගන නමැත්තාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

 හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි - ලීබඩු වෙළෙඳසැල ගිනි අවි ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇත්තේද දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ගගන නමැත්තාගේ උපදෙස් අනුව බව විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් අය අතර යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සෙබළෙක් හා යුද හමුදාවේ හිටපු සෙබළෙක්ද සිටිති.

මොවුන් දෙදෙනා යුද හමුදාවෙන් පලා ආ අය බව විශේෂ කාර්ය බළකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
අතිරේක ඉඩම් කොමසාරිස්වරුන් ඇතුළු රජයේ විවිධ උසස් නිලධාරින්ගේ නම් යොදා ව්‍යාජ ලෙස සැකසු රබර් මුද්‍රා 20ක් පමණ තොගයක්ද මෙම වැටලීමේදී විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන ඇත.

පාතාල ලෝකයේ ප්‍රබලයකු ලෙස සැලකෙන ගගන නමැත්තාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස සේවය කළ බව කියන පුද්ගලයා ගගන නමැත්තාගේ නඩු කටයුතු වෙනුවෙන් නීතිඥයන්ට මුදල් ගෙවීම ඇතුළු ඔහු ගගන විසින් පවරන ඇතැම් කාර්යයන් ඉටුකළ අයකු බවට තොරතුරු විශේෂ කාර්ය බළකායට ලැබී තිබෙන බව කියති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත එහි සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධිය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශාන්ත රත්නපිටිය මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම යටතේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ (01) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ආර්.ඒ.කේ. දිසානායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)