ජූලි මස 6 වැනි දින සිට ශ්‍රේණි තුනක අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත්, පාසල් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මෙතෙක් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

මෙහිදී පහ ශ්‍රේණිය, එකොළහ ශ්‍රේණිය හා දොළහ ශ්‍රේණිය ආරම්භ කරන නිසා අනෙකුත් ගුරුවරුන් පාසලට පැමිණිය යුතුද යන්න පැහැදිලි කළ යුතුව තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. මීට අමතරව අධ්‍යයන කටයුතු
" ආරම්භ කරන ශ්‍රේණි තුනට අදාළව කාලසටහන් සකස් කිරීම පිළිබඳව
තවමත් නිසි උපදෙස් ලබා දී නොමැති බවත්, එහෙත් විෂය ඉගැන්වීමට පැය භාගයකට පෙර පාසලට පැමිණිය යුතු බවට දන්වා තිබෙන බවද කියා සිටියේය.
පාසල් ගුරු අත්සන් පොත වෙනුවට අතිරේක  පොතක අත්සන් ලබාගන්නා ලෙසට උපදෙස් ලබාදී තිබෙන බවත්, එය. සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි උපදෙස් අවශ්‍ය බවත් සඳහන් කළේය.
පළමු ශ්‍රේණිය, දෙවැනි ශ්‍රේණිය ආරම්භ කරන දිනයක් පිළිබඳව හෝ අධ්‍යාපන බලධාරීන්ට මෙතෙක් ප්‍රකාශ කර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා අදාළ කාලවකවානු හෝ ප්‍රකාශ
කළ යුතු බවද පවසා සිටියේය.
 මෙම ශ්‍රේණි දෙක ආරම්භ කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වුවත් එම ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් මේ වනවිට පාසල්වලට කැඳවා තිබෙන බවද සඳහන් කළේය.
 මේ නිසා පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශයට පත්කළ යුතු බවත්, පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් සුදානම් කිරීමට අදාළ උපදෙස් බස්නාහිර හා සබරගමු පළාත් පාසල් හැර අනෙකුත් පාසල්වලට තවමත් නිසි ලෙස ලබාදී නොමැති බවද වැඩිදුරටත් කියා සිටියේය.


ඉන්දික හේවාවිතාරණ