තඹුත්තේගම රෝහල පිටුපස කුණු ඇළක තිබී මළ සිරුරක් ඊයේ (30) උදේ සොයාගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.මිය ගොස් ඇත්තේ කටියාව යාය 1 පදිංචිව සිටි රංහාමිගේ රංජිත් වන්නිනායක (54) නමැති තිදරු පියකු බව පොලිසිය කියයි.
මියගිය අය රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 27 වැනිදා රාත්‍රී 7 ට පමණ තඹුත්තේග්ගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර 29 වැනිදා රාත්‍රී 11 ට පමණ රෝහල් වාට්ටුවෙන් පැන ගොස් ඇති බව පොලිසිය කළ පරික්ෂණවලදී හෙළිවී ඇත. එසේ පැනයද්දී තඹුත්තේගම රෝහල් භූමියේ දැනට ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක මුරකරු ඔහු අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බවත් ඒ අවස්ථාවේදී අසල වූ කාමරයට මුරකරු තල්ලුකර පැනගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

 ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා මුරකරු ප්‍රතිකාර සඳහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර සිද්ධිය දැනුම් දීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය සමග එක්වී පැනගිය පුද්ගලයා සෙව්වද ඔහු සොයාගැනීමට අපොහොසත්වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ගොඩනැගිල්ලේ සේවය සඳහා පැමිණි සේවකයන් කුණු ඇළේ තිබී මළසිරුරක් දැක පොලිසියට දන්වා තිබේ.
මෙය සියදිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද  යන්න පිළිබඳව තඹුත්තේගම පොලිසිය පරික්ෂණ පවත්වයි. තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක එන්.ජේ. අතුකෝරළ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. පී.එම්.එස්.එස්. ගුණසේකර, පො.සැ. අබේසිංහ (63722) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(රාජාංගණය- නුවන් කුමාර)