රදානේ ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ සිට පනාගොඩ වෙත ගමන් කරමින් තිබූ කැබ් රථයක් ඊයේ පාන්දර නුගේගොඩ ගුවන් පාලම මතදී අනතුරකට ලක්වී අවාසනාවන්ත ලෙස එහි රියදුරු ලෙස කටයුතු කළ 36 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් ලලිත් ගොඩගේ මහතා මියගියේය.
ඔහුගේ මව වන බී. එච්. සෝමලතා (60) මහත්මිය හඬමින් කියා සිටියේ

 “මගේ පොඩි පුතා තාත්තා නැතිවුණාට පස්සේ හමුදාවට ගියේ මෙහෙම එන්නද"
 අම්බලන්ගොඩ, නින්දාන, වතුරවිල පදිංචි ලලිත් ගොඩගේ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
වයස 4 හා 1 දියණියන් දෙන්නා පසුවේ.

පනාගොඩ යුද හමුදා කඳවුරට අනියුක්තව 14 වන විජයබා පාබල රෙජිමේන්තුවේ මරදාන මුරපොළ යුද හමුදා කඳවුරේ ඔහු සේවයේ නියුතුව සිටියේය.
මියගිය ලලිත් ගොඩගේ මහතා, මේ මස 11 වැනි දින පොඩි දුවගේ පළමු උපන් දිනය සැමරීම සඳහා නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවය සඳහා කඳවුරට ගොස් සිටියේය. සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන ලලිත් වසර 13 ක් හමුදා සේවයේ යෙදී සිට ඇත.
“මගේ පොඩි පුතා අවුරුදු 13 ක් හමුදාවේ හිටියා. යුද්ධ කාලෙ අතතුරු වුණාට ජීවිතේ බේරුණා. මගේ පොඩි පුතා, තාත්තා නැති වුණාට පස්සේ හමුදාවට ගියේ මෙහෙම ගෙදර එන්නදැ"යි ලලිත්ගේ මව හඬමින් නිවසට පැමිණෙන ඥාතීන්ට තම පුතාගේ වියෝව ගැන කියමින් වැලපෙන අයුරු දැකගත හැකිවිය.

මවත් වැඩිමල් සොයුරියත් ලලිත්ගේ නිල ඇඳුම් කට්ටල පෙන්වමින් නිවසට පැමිණෙන ඥාතීන් සමඟ දුක කියමින් හඬාවැලපෙන්නට වූහ.
මෙම සිදුවීමෙන් තුවාල ලද අනෙක් දෙන්නා 46 හැවිරිදි කපිතාන් ගාමිණී සනත් කුමාර සහ ලාන්ස් කෝප්‍රල් ලසන්ත මනොජ් ගුණවර්ධනයි.

අනතුර සිදු කළ රියදුරා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි. ඔහු මාර්ග අංක 124 මහරගම-බෝපේ බස් රථයේද සේවය කරන්නෙකි. සිද්ධිය වූ අවස්ථාවේ ඔහු මාර්ග අංක 138 බස් රථය සමග බොහෝ වේලාවක් තරගයට ධාවනය කරමින් සිට තිබේ. ගුවන් පාලමෙන් පසු නැවතුමේ සිටින මගීන් ඩැහැගැනීමේ තණ්හාවෙන් පාලම මතදී නීති විරෝධීව අනෙක් බස් රථය ඉස්සර කරන්නට ඔහු පෙළැඹුනේ කිසිදු වගකීමකින් තොරවයි.
අනතුර සිදුවන්නේ 138 බස් රථය ඉස්සර කරන්නට යද්දී මාර්ගයේ දකුණු පසින් ආ හමුදා කැබ් රථයේ ගැටීමෙනි. එම අවස්ථාවේ කැබ් රථයේ රියදුරුද රථය පදවමින් සිටින්නේ ගුවන් පාලම මත නිසා වෙනත් පැත්තකට කපා මාර්ගයෙන් ඉවතට ගන්නටද  අවස්ථාවක් නොවූ අතර අනපේක්ෂිත ලෙස මරණයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.

හිතාමතා මරණයක් සිදු කරමින් වාහන ධාවනය කිරීම යන චෝදනාව යටතේ සැකකාර රියදුරු ලබන 29 දක්වා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම විය. අනතුර සිදුවූ අවස්ථාවේ තමාට අධික රුධිර පීඩනය හටගත් බව දැන්වූ නිසා රියදුරු තවමත් රෝහලේ සිටින අතර පොලිස් ආරක්ෂාව යොදා ඇත. තුවාල ලද කපිතාන්වරයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර තුවාල ලද ලාන්ස් කොප්‍රල්වරයා තවමත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.